ප්‍රධාන පුවත්

බදු මුදල්වල වැඩි කොටස ගොවීන්ට – ඇමති ලාල්කාන්ත

මෙරට බදු ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් ගොවි ජනතාවගේ සුබසාධනය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා වැය කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ගොවි ජනතාව වෙනුවෙන් රජය කෝටි ගණනක මුදලක් වැය කර ඇති බවත්, මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණවල ප්‍රතිලාභද ගොවි ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටට ආහාර සපයන වී ගොවියා මෙන්ම කුඩා තේ වතු හිමියන් සහ ගම්මිරිස් වගාවේ නිරත පිරිස්ද ජාතික ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබාදෙන පිරිසක් බවද ඔහු සඳහන් කළේය.

මෙරට සහල් සඳහා විදේශීය වෙළෙඳපොළේ ඉල්ලුමක් නොමැති බැවින් වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කරන අවස්ථාවේදී වී ලබාදෙන ලෙසත්, වැඩි මිලක් අපේක්ෂාවෙන් නිවෙස්වල වී රඳවා නොතබන ලෙසත් ගොවීන්ගෙන් ඉල්ලීමක් කළ අමාත්‍යවරයා, වී මිලේ උච්චාවචනය පාලනය කරමින් ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බවද පැවසීය.

“අපේ රටේ හාල්වලට විදේශ වෙළඳපොළේ ඉල්ලුමක් නැහැ. වී ටික වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කරපු වෙලාවේ දෙන්න. ඊට වඩා මිල වැඩි වෙනකන් තියන් ඉන්න එපා. එතකොට මේ පාර වුණු දේ වෙනවා. වී මිල උච්චාවචනය වෙන එක ගැටළුවක්. අපි උත්සහ කරනවා වී මිල ස්ථාවරව තියාගන්න. පිරිවැය වැඩිවෙනකොට නිෂ්පාදන වියදම වැඩිවෙනකොට මිල ඉහළ යා යුතුයි. අපි ඒක වෙනස් කරනවා. වී මිල පුළුවන් තරම් ස්ථාවරව තියාගෙන ඒ නිෂ්පාදනයට යන පිරිවැයට සහන දෙන්න.

අපි ලොකේ යුද්ධයක් තිබුණට කිසි කර්මාන්තයක් බිඳ වැටෙන්න දුන්නේ නැහැ. තෙල් හිඟයක් ඇතිවෙන්න දුන්නේ නැහැ. අපේ පෞද්ගලික පොහොර සමාගම් රජයට ලොකු සේවයක් කළා. එයාලා ළඟ තිබුණ පොහොර ටික රජයට දුන්නා, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී ගොවියාට බෙදන්න. හැමෝම කියනවනේ පෞද්ගලික ආයතන ගසා කන්නමයි ඉන්නේ කියලා. පොහොර මිලත් ඉදිරියේදී අඩුවෙයි. අපි බලාපොරොත්තු වෙනවා අපේ ගොවි ජනතාව මීට වඩා පොදු ජනතාව ගැන හිතයි කියලා.”

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්තියට සමගාමීව ක්‍රියාත්මක වන “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 83.20ක් බව සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button