
යාල කලාප 1 සහ 2 අද සිට තාවකාලිකව වසා දැමේ
යාල කලාප 1 සහ 2 අද (14) සිට සංචාරකයින් සඳහා තාවකාලිකව වසා තැබීමට වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මෙම තාවකාලික වසා දැමීම ඔක්තෝබර් 15 වැනිදා දක්වා මාසයක කාලයක් ක්‍රියාත්මක වේ.
යාල ජාතික වනෝද්‍යානය තුළ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍ර රැසක් මේ වනවිට සිඳී ගොස් තිබේ. එම තත්ත්වය හේතුවෙන් වනෝද්‍යානයේ වෙසෙන සතුන්ට පානීය ජලය සොයා ගැනීමේදී දැඩි ගැටලුවකට මුහුණදීමට සිදුව ඇත.
වියළි කාලගුණය හේතුවෙන් ගහකොළ සහ තණබිම්ද වියළී යාම නිසා සතුන්ට ආහාර සපයා ගැනීමද අසීරු වී තිබේ. මෙවර සංචාරක සමයට එල් නිනෝ තත්ත්වයේ බලපෑමද එල්ල වී ඇති බව සඳහන් වේ.
සතුන් සඳහා අවශ්‍ය ජලය සැපයීමට වනජීවි නිලධාරීන් විසින් මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. මැණික් ගඟේ ස්ථාන හතරක සූර්ය පැනල මෝටර මගින් ලබාගන්නා ජලය භූගත නළ ඔස්සේ වනෝද්‍යානයේ පොකුණු වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
එමෙන්ම දිනකට ලීටර් ලක්ෂ 02ක පමණ ජල ප්‍රමාණයක් බවුසර් මගින් රැගෙන ගොස් වනෝද්‍යානයේ ස්වභාවික සහ කෘත්‍රිම පොකුණු පිරවීමටද කටයුතු කරමින් සිටී.
යාල ජාතික වනෝද්‍යානය තුළ ක්ෂීරපායී විශේෂ 44ක්, පක්ෂි විශේෂ 215ක්, උරග විශේෂ 47ක් සහ මත්ස්‍ය විශේෂ 21ක් වාසය කරයි. සාමාන්‍යයෙන් අගෝස්තු සිට මාර්තු දක්වා කාලය එහි සංචාරක ආකර්ෂණය ඉහළ මට්ටමක පවතින කාලසීමාවකි.
කෙසේවෙතත්, වියළි කාලගුණය හමුවේ ආහාර සහ ජලය සොයා යන සතුන්ට ඇතිවන බාධා අවම කිරීම සඳහා යාල කලාප 1 සහ 2 සංචාරකයින්ට තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.



