
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචා හා දූෂණ 25ක වාර්තා නීතිපතිවරයාට – කෝපා කමිටු අනුමැතිය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කිරීමට එම කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.
2025 මාර්තු 10 සහ මාර්තු 21 දිනවල පැවති කාරක සභා රැස්වීම්වලදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (04) අනුව කාරක සභාවන් විසින් අනාවරණය කරන කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමු කර නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය පියවර ගැනීමට හැකියාව පවතී. 2022 වසරේදී ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන් මෙම ප්රතිපාදනය ඇතුළත් කර ඇති අතර, ඒ අනුව රජයේ ගිණුම් කාරක සභා වාර්තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ මෙය ප්‍රථම අවස්ථාව ලෙසද සඳහන් වේ.
මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කාරක සභාව හමුවට කැඳවා තිබුණි.
කාරක සභාවේදී අනාවරණය වූ තොරතුරු අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවී ඇති බවට සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා 25ක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිත බව සඳහන් වේ.
මෙහිදී අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ වංචා හා දූෂණවලට සම්බන්ධ බවට සැකකෙරෙන නිලධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බවයි. එමෙන්ම සෑම මසකම රැස්වී විමර්ශන කටයුතු පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කර අවශ්‍ය නීතිමය පියවර සඳහා සහය ලබාදීමට සූදානම් බවද ඔහු පැවසීය.
තවද රේගු පද්ධතිය සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වන විට සම්බන්ධ කර ඇති අතර, පෙර සිදුවී ඇති බවට අනාවරණය වූ අක්‍රමිකතා නැවත සිදු නොවන පරිදි ආරක්ෂිත පියවර රැසක් ගෙන ඇති බවද සඳහන් කර ඇත.
දත්ත පද්ධතියට ඇතුළත් වූ නිලධාරීන් කවුරුන්ද යන්න පැහැදිලිව හඳුනාගත හැකි බැවින් දත්ත වෙනස් කිරීම ඇතුළු අක්රමික ක්‍රියාකාරකම් සඳහා මේ වන විට අවස්ථාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ පවතින අවිශ්වාසය දුරලීම සඳහා දත්ත පද්ධති සහ මාර්ගගත සේවාවන් වැඩිදියුණු කර අතරමැදියන්ගෙන් තොර, කඩිනම් හා විශ්වසනීය සේවාවක් ලබාදීම අත්‍යවශ්‍ය බව කාරක සභා මන්ත්‍රීවරුද මෙහිදී අවධාරණය කළහ.
එමෙන්ම රේගු දෙපාර්තමේන්තුවට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සම්බන්ධ කරමින් නව දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, එමගින් නව වාහන ලියාපදිංචිය, වාහන අයිතිය පැවරීම, අංක තහඩු ලබාදීම සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වැනි සේවාවන් වඩා කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වනු ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.



