ප්‍රධාන පුවත්

මෙට්‍රෝ බස් සේවාව අගෝස්තුවේ සිට: කොළඹ රථ වාහන තදබදයට නව විසඳුමක්

මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා මෙරට සමස්ත ප්‍රවාහන පද්ධතිය කඩිනම් පරිවර්තනයකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදයක් සඳහා ආර්ථික තරඟකාරිත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාව සහ ආරක්ෂාව යන මූලික කුළුණු පහ යටතේ උපායමාර්ගික සැලැස්මක් සකස් කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

Lanka Metro Transit නියමු ව්‍යාපෘතිය

කොළඹ නගරයේ පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් Lanka Metro Transit නාමයෙන් නව බස් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සකස් කරමින් පවතින අතර, මෙම වසරේ අගෝස්තු මාසය වන විට බස් රථ මෙරටට ගෙන්වීමට නියමිත බව සඳහන් විය.

නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ අවට ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ව්‍යාප්තිය – ප්‍රධාන නගර 08ක් දක්වා

මෙම වැඩසටහන බස්නාහිර පළාතෙන් ආරම්භ කර, පසුව ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වෙතත්, ඉදිරි වසර තුන තුළ ප්‍රධාන නගර 08ක් දක්වාත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම නව සේවාව මඟින් කොළඹට දෛනිකව ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව අඩු කර, මහජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කිරීම අරමුණ වේ.

බස් ප්‍රමුඛතා මංතීරු සහ “ක්ලස්ටර්” ක්‍රමය

බස් ප්‍රමුඛතා මංතීරු හඳුනාගෙන ඒවා කාර්යක්ෂමව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එසේම, දැනට පවතින විසිරුණු බස් සේවා වෙනුවට ප්‍රවාහන සමාගම් පදනම් වූ “ක්ලස්ටර්” ක්‍රමවේදයක් හඳුන්වාදීමටද යෝජනා කර ඇත.

බස් හිමියන් සහ සමාගම අතර ගිවිසුම් ක්‍රමයක් ඇති කර, අවශ්‍ය වන්නේ නම් රජයෙන් සහන ලබාදීමේ හැකියාවද සලකා බැලෙන බව සඳහන් විය.

දුම්රිය කේන්ද්‍ර කරගත් බහුවිධ ප්‍රවාහන පද්ධතිය

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සැලසුම් කිරීමේදී දුම්රිය සේවාව කේන්ද්‍ර කර ගනිමින් අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය ඒ වටා ඒකාබද්ධ කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

කැලනි වැලි දුම්රිය මාර්ග නවීකරණය සහ අධිවේගී මාර්ග සඳහා ඉලෙක්ට්‍රොනික ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම පිළිබඳවද සාකච්ඡා විය.

Gov.Pay හා ලකුණු කැපීමේ ක්‍රමය

රියදුරු බලපත්‍ර චිප් සමඟ නිකුත් කළද, ලකුණු කැපීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෘදුකාංග පද්ධතියක් සකස් කර නොතිබූ බව මෙහිදී අනාවරණය විය.

දැනට Gov.Pay හරහා එම ක්‍රමවේදය නිවැරදි කරමින්, මාස 6–7ක් ඇතුළත විධිමත් පද්ධතියක් ස්ථාපිත කිරීමට හැකි වනු ඇති බව සඳහන් විය.

ත්‍රීවිල්, ටැක්සි සහ සිසු සැරිය

ත්‍රීවිල් රථ, ටැක්සි සහ පාසල් වෑන් රථ නියාමනය සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එය ඉදිරිපත් කිරීමට නියමිතය.

“සිසු සැරිය” වැඩසටහන සඳහා 2025 වසරේ රුපියල් මිලියන 2200ක් වෙන් කර ඇති අතර, එයින් රුපියල් මිලියන 500ක් භාවිතයට නොගෙන නැවත හරවා යවා ඇති බවද අනාවරණය විය.

එම වැඩසටහන කාර්යක්ෂම කරමින් සිසුන්ට සෘජු ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පුළුල් කිරීමටද අවධානය යොමු වී ඇත.

ජාතික ප්‍රවාහන පර්යේෂණ මධ්‍යස්ථානයක්

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සියලු ආයතන එක් වේදිකාවකට ගෙන එමින් ජාතික ප්‍රවාහන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳවද සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button