උණුසුම් පුවත්

ප්‍රේමලාල් ජයසේකරට ඇප – ගිනිඅවි තර්ජන සිද්ධියට අධිකරණ නියෝගය

නුවරඑළිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

සැකකරු අද (22) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය විසින් රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් යටතේ, දැඩි කොන්දේසි සමඟ මුදාහැරීමට නියෝග කර තිබේ.

එමෙන්ම නඩුව සැප්තැම්බර් 14 දින නැවත කැඳවීමටත්, අදාළ ගිනි අවිය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණ භාරයේ තබා ගැනීමටත් නියෝග කර ඇත. තවද, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමට ද නියෝග කර තිබේ.

පොලීසිය අනුව, සැකකරු පවුලේ සාමාජිකයන් සමඟ ඊයේ (21) නුවරඑළියේ සංචාරයකදී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී පිස්තෝලයක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළ බවට චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව 1996 ගිනි අවි ආඥා පනත යටතේ සාපරාධී බිය ගැන්වීම සහ මරණ තර්ජන කිරීම යන චෝදනා මත නඩුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පවසා ඇත්තේ ඔහු විසින් එවැනි වරදක් සිදු කර නොමැති බවත්, එබැවින් ඇප ලබාදීමට අවසර දෙන ලෙසයි. එයට විරුද්ධව, ශ්‍රී ලංකා පොලීසිය පැමිණිල්ල වෙනුවෙන් පෙන්වා දී ඇත්තේ විමර්ශන තවම අවසන් වී නොමැති බවයි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කළේ, පැමිණිලිකරු හෝ සාක්ෂිකරුවන්ට තර්ජනයක් සිදු වුවහොත් ඇප කොන්දේසි අවලංගු කර සැකකරු නැවත රක්ෂිත බන්ධනාගාරයට යොමු කරන බවයි.

තවද, අදාළ ගිනි අවිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කළ බලපත්‍රය නීත්‍යානුකූල බවටද පොලීසිය විසින් අනාවරණය කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button