
මැදපෙරදිග යුද උණුසුමෙන් ගුවන් වාර 205ක් අවලංගුයි – ඇමති අරුණ කරුණාතිලක
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට සම්බන්ධ ගුවන් වාර 205ක් මේ වනවිට අවලංගු වී ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි.
අද (03) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ගුවන් සේවා ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී හෙළිදරව් කළේ, පැමිණීමට නියමිත ගුවන් වාර 107ක් සහ පිටත්වීමට නියමිත ගුවන් වාර 98ක් ඇතුළුව සමස්ත වශයෙන් ගුවන් වාර 205ක් අවලංගු කර ඇති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් මෙරට රැඳී සිටින විදේශ සංචාරකයින්ට ආරම්භයේ සති දෙකක වීසා දිගුවක් ලබාදීමට පියවර ගත් අතර, පවතින අර්බුදය නිමවන තුරු ඔවුන්ට ශ්‍රී ලංකාවේ නීතිමය වශයෙන් රැඳී සිටීමට අවශ්‍ය වීසා පහසුකම් සලසන බවද අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර තීරණයකට පැමිණ ඇති බවද සඳහන් කළේය.
අවලංගු වූ ගුවන් ගමන් හේතුවෙන් මගීන්ට අපහසුතා ඇතිවූ බව පිළිගත් අමාත්‍යවරයා, එවැනි අවස්ථාවලදී සම්පූර්ණ ගුවන් ප්‍රවේශපත්‍ර අවලංගු කර මුදල් ආපසු ගෙවීම හෝ වෙනත් ගුවන් ගමනකට පරිවර්තනය කිරීමේදී කිසිදු අතිරේක ගාස්තුවක් අය නොකිරීමට සියලු ගුවන් සමාගම් එකඟතාව පළ කර ඇති බවත් කියා සිටියේය.
තවද, යුරෝපීය ගමනාන්ත වෙත ගුවන් ගමන් මේ වනවිට නැවත ආරම්භ කර ඇති නමුත් මැදපෙරදිග කලාපය මගහැර විකල්ප ගුවන් මාර්ග භාවිතා කිරීම හේතුවෙන් ඉන්ධන වියදම් ඉහළ ගොස් ඇතැයිද සඳහන් විය. එම නිසා තත්ත්වය ස්ථායී වන තුරු ගුවන් මඟින් රැගෙන යන පාර්සල් ප්‍රමාණය සීමා කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම තත්ත්වය සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා,
“මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුදමය වාතාවරණයත් සමග සිවිල් ගුවන්සේවාවට ඇතිවෙලා තියෙන තත්ත්වය තවදුරටත් සමනය වෙලා නැහැ. ඒ නිසා මේ කලාපවල ගමනාන්ත වෙත ගමන් කරන ගුවන් ගමන් තවදුරටත් අවලංගු කරන්න ඒ ඒ ගුවන් සමාගම් සහ සිවිල් ගුවන් සමාගම් විසින් තීරණය කරලා තිබෙනවා.
අද උදෑසන වන විට පැමිණීමට නියමිතව තිබූ ගුවන් වාර 107ක්, පිටත්වීමට නියමිත ගුවන් වාර 98ක් ආදී වශයෙන් සම්පූර්ණ ගුවන්වාර 205ක් අවලංගු වෙලා තිබෙනවා. මැදපෙරදිග කලාපයේ ඕමානය, සෞදි අරාබිය වගේ කලාප ගුවන් සේවාවන් විවෘත කරලා තිබුණත් ඒවායේ සම්පූර්ණ සිවිල් ගුවන් කටයුතු ආරම්භ කරන්න අවස්ථාව සැලසිලා නැහැ. නමුත් සමහර ගුවන් සේවාවන් ඒ කලාපය හරහා ගුවන් ගමන් ආරම්භ කරන්න මේ වන විට කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම සීමාවට ලක්වෙලා තිබෙන සමහර ගුවන් කලාප, උදාහරණ හැටියට අබුඩාබි, සාජා, ඩුබායි වගේ කලාප සීමිත කාලයක් සඳහා විවෘත කරලා තිබෙනවා. නමුත් ඒ සඳහා කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ විශේෂිත ගුවන් යානා සඳහා පමණයි. සාමාන්‍ය ගුවන් සේවා ඒ හරහා ආරම්භ කරන්න හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම අද දවසේ සිවිල් ගුවන් සේවා සමාගම් අමාත්‍යාංශයේදී රැස්වෙලා සාකච්ඡා කළා එහිදී තීරණ කිහිපයකට අපි එළැඹුණා. විශේෂයෙන් මේ සඳහා අපි තීරණය කළා ගුවන් මගීන්ගේ වීසා අපි දැනටමත් සති දෙකකට දික් කිරීමට තීරණය කරලා තිබෙනවා. ඒ තත්ත්වය තව දුරටත් වැඩි කරලා ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ වීසා පහසුකම් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශයත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවත් සමග එකතු වෙලා කටයුතු කරන්න තීරණය කළා.
ඒ වගේම ගුවන් සමාගම්වලින් ඉල්ලීමක් තිබුණා විවිධ රටවල රැඳිලා ඉන්න ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඉන්න ගුවන් මගීන් ලංකාවට ගෙන්වා ගන්න මැදිහත් වීමක් කරන්න කියලා. ඒ සඳහා අවශ්‍ය කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ ඒ රටවල ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙමින් ඒ සඳහා අවශ්‍යවන පහසුකම් ලබා දීමේ කටයුත්ත කළ යුතුයි කියන ඉල්ලීම ආවා. ඒ අනුව අපි විදේශ කටයුතු අමාත්‍යාංශයත් සමග ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ වෙනකොට ලංකාව තුළ රැඳිලා ඉන්න විදේශීය රටවල්වල, එංගලන්තය, ජර්මනිය ආදී නොයෙක් රටවල්වල රැඳිලා ඉන්න ගුවන් සමාගම්, ඔවුන්ගේ ගුවන් සම්බන්ධතාව තිබුණේ මැදපෙරදිග කලාප හරහා. ඒ ගුවන් සේවාවන් බලාපොරොත්තු වෙනවා විශේෂිත ගුවන් යානා මගින් ඒ අය තමන්ගේ රටවලට යවන්න. ඒකට අවශ්‍ය වන පහසුකමත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලබා දෙන්න කටයුතු කළා.
මේ තත්ත්වය නිසා සමහර ගුවන් ගමන් අවලංගු වීමත් එක්ක සමහර අයගේ ගුවන් ටිකට්පත් නැවත වරක් රී ශෙඩුයුල් කරගන්න ඕනේ. ඒ වගේම සමහර සම්පූර්ණ ටිකට්පත් අවලංගු කරන්න වෙනවා. මේ කිසිම අවස්ථාවක අතිරේක මුදලක් අයකරන්නේ නැතිව අවලංගු කිරීමේදී සම්පූර්ණ මුදල ආපසු ලබා දීමත්, ඒ වගේම ගුවන් ගමන් නැවත වෙනත් ගුවන් ගමනක් බවට පරිවර්ථනය කිරීමේදී කිසිම අතිරේක මුදලක් අයකරන්නේ නැතිව ඔවුන්ට ඒ පහසුකම ලබා දෙන්නත් ඒ සියලුම ගුවන් සේවා සමාගම් අපිත් එක්ක එකඟ වුණා.
ගුවන් සමාගම්වලින් විමසීමක් කළා ලංකාව තුළ මේ ඇතිවන තත්ත්වයත් එක්ක ගුවන් යානා සඳහා අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණවත්ද කියලා. අපි ඛනිජ තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කළා අපිට එහිදී දැනගන්න ලැබුණා කිසිම ගැටලුවක් නැහැ ඉදිරි දින 50ක ආසන්න කාලයක් සඳහා ගුවන් යානා ඉන්ධන කිසිම හිඟයක් නැතිව ලංකාව තුළ ලබා දීමේ පහසුකම් අපිට තිබෙනවා කියලා.
ඒ වගේම යුරෝපයේ විශේෂයෙන්ම ලන්ඩන් සහ පැරිස්වලට යන ශ්‍රී ලංකන් ගුවන් යානා දැනට කටයුතු ආරම්භ කරලා තිබෙනවා. නමුත් මැදපෙරදිග කලාප මගහරිමින් විකල්ප ගුවන් මාර්ග ඔස්සේ තමයි මේ යානා ගමන් කිරීම සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ගුවන් කාලයට අමතරව පැයක වගේ අතිරේක කාලයක් මේ සඳහා වැය වෙනවා වැඩි ඉන්ධන ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වෙන නිසා ඒ ගුවන්වාරවලදි පාර්සල්වල යම්කිසි සීමා කිරීමක් ඇතිකරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ අනුව අපි හිතනවා මැදපෙරදිග තත්ත්වය සමනය වන තුරු විකල්ප ක්‍රියාමාර්ග අරගනිමින් හැකිතාක් දුරට බණ්ඩාරණායක ගුවන් තොටුපළත් මත්තල ගුවන්තොටුපළත් සමග සිවිල් ගුවන්සේවා කටයුතු සඳහා අපි මැදිහත් වීමෙන් කටයුතු කරනවා.”



