ප්‍රධාන පුවත්

මැතිවරණවල නොමැකෙන තීන්ත භාවිතය ඉවත් කිරීමට අනුමැතිය

මෙරට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය නීතිමය ප්‍රතිපාදන මගින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව රජය සඳහන් කරයි.

2004 වර්ෂයේ සිට මේ දක්වා පැවැත්වූ සියලුම ඡන්ද විමසීම්වලදී, ඡන්ද දායකයින්ගේ අනන්‍යතාව වලංගු හැඳුනුම්පතක් මගින් තහවුරු කිරීමත්, නොමැකෙන තීන්ත භාවිතයෙන් ඇඟිල්ල සලකුණු කිරීමත් අනිවාර්ය කර තිබිණි.

හොර ඡන්ද දැමීම සහ එක් පුද්ගලයෙකු විසින් එක් වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීම මෙම ක්‍රමවේද දෙකෙහිම ප්‍රධාන අරමුණ විය.

කෙසේ වෙතත්, එකම අරමුණක් සඳහා හැඳුනුම්පත් පරීක්ෂාව සහ නොමැකෙන තීන්ත ආලේප කිරීම යන ක්‍රමවේද දෙකම එකවර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවයට බාධා ඇතිවීම සහ රජයට අමතර පිරිවැයක් දැරීමට සිදුවීම නිරීක්ෂණය වී ඇත.

ඒ හේතුවෙන් නොමැකෙන තීන්ත භාවිතය සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන මැතිවරණ නීතිවලින් ඉවත් කිරීම සුදුසු බව රජය තීරණය කර තිබේ.

ඒ අනුව, නොමැකෙන තීන්ත භාවිත කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා පහත සඳහන් නීතිවල අදාළ වගන්ති සංශෝධනය කිරීමට නීතිමය පියවර ගැනීමට නියමිතය.

*** ජනාධිපතිවරණ – 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.**

*** මහ මැතිවරණ – 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.**

*** පළාත් සභා මැතිවරණ – 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.**

*** පළාත් පාලන මැතිවරණ – (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් ආඥාපනතේ 53අ. වගන්තිය.**

*** ජනමත විචාරණ – 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය.**

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button