
VAT සහ SSCL සීමාව මිලියන 60ම පවතී
එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබූ සංශෝධනය ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට බලපැවැත්වෙන රුපියල් මිලියන 60ක වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, එම සීමාවට පහළින් පවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාද ස්වේච්ඡාවෙන් VAT සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව පවතින බව ඔහු පෙන්වා දී තිබේ.
“ඉදිරියටත් මිලියන හැටේමයි තියෙන්නේ වැට් බදු අයකරන සීමාව. නමුත් කෙනෙකුට අවශ්‍ය නම් Threshold එකෙන් පහළ තිබුණත් තමන්ට ඇවිල්ලා වැට් බද්ද සඳහා ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා”, යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවේ, VAT සහ SSCL සීමාව අඩු කිරීමේ යෝජනාව පිළිබඳ මුදල් කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.
රජය මේ අවස්ථාවේදී එම සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම සුදුසු නොවන බවට තීරණය කර ඇති අතර, ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය සූදානම් කටයුතු සහ බදු අයකර ගැනීමේ ක්‍රමවේද සකස් කිරීමට වැඩි කාලයක් අවශ්‍ය බවද ඇය සඳහන් කළාය.
“අපි මුදල් කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මේ මිලියන 60ක සීමාව තියෙන VAT සහ SSCL මිලියන 36ට ගෙන ඒම ගැන. ඒ ගැන සමාජයේ කතා බහකුත් තිබුණා. නමුත් අපි රජයක් ලෙස තීරණය කරලා තියෙනවා ඒක ගෙන එන්න ඕනේ මේ අවස්ථාවේදී නෙමෙයි. මොකද මේ අවස්ථාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඒ සඳහා සූදානම්වීමක් අවශයයි. අයකර ගැනීමේ ක්‍රමවේද සකස් කරන්න අවශ්‍යයි. ඒ නිසා යම් ප්‍රමාණයකට මේ අවස්ථාවේදී ඒකට සුදුසු අවස්ථාව නෙමෙයි කියන එක ඊයේ කැබිනට් එකෙන් තීරණ කළේ. ඒ අනුව, නීතිපතිවරයාගේ අනුමැතිය ලැබිලා අද දිනයේදී ඒක කාරක සභා අවස්ථාවේදී සම්මත වෙනවා.”
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තීරණය කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ ගෙන ඇති අතර අදාළ නීතිමය සංශෝධන සඳහා ඉදිරි ක්‍රියාමාර්ගද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.



