උණුසුම් පුවත්

බිඳවැටුණු පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යළි යථා තත්ත්වයට

අක්‍රියව පැවති පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය මේ වනවිට යළි යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඒ අනුව පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා ඉල්ලුම්පත් පෙර පැවති ආකාරයට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නැවත ඉදිරිපත් කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.

දත්ත පද්ධතිය අක්‍රියව පැවති කාලය තුළ clear.application@police.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ තාවකාලික ක්‍රමවේදයක් මගින් ඉල්ලුම්පත් යොමු කිරීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දී තිබුණි.

එම තාවකාලික ක්‍රමවේදය හරහා ඉල්ලුම්පත් යොමු කළ සියලු අයදුම්කරුවන්ට, පද්ධතිය යථා තත්ත්වයට පත්වීමෙන් පසු අදාළ ගෙවීම් සිදුකර පෙර පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නැවත ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

පොලිස් මූලස්ථානය මගින් බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ ස්ථාපිත කර ඇති නිෂ්කාශන අංශය හරහා මෙම නිෂ්කාශන සහතිකපත් නිකුත් කරනු ලබයි.

නිෂ්කාශන සහතිකපත් සඳහා අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් මගින් සිදුකරනු ලබන අතර, එම පද්ධතිය පසුගිය 20 වැනිදා දහවල් 12.50 සිට අක්‍රියව පැවතිණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කිරීමෙන් අනතුරුව පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button