
මහ බැංකු බැඳුම්කර නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්
2016 මාර්තු 31 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ පොදු දේපළ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීරණය කර තිබේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරියට ගෙන යා නොහැකි බවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර ලබාදී තිබූ නියෝගය මෙලෙස අවලංගු කර ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය සමඟ කියවිය යුතු පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පවත්වාගෙන යා හැකි බව සඳහන් කළේය.
තීන්දුවේදී අර්ථ නිරූපණ ආඥා පනත අනුව සමාගමක්ද “පුද්ගලයෙකු” ලෙස සැලකිය හැකි බව අවධාරණය කර තිබේ. එමෙන්ම නවීන මූල්‍ය වංචා බොහෝවිට ආයතනික ව්‍යුහයන් හරහා සිදුවන බැවින්, එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මහජන දේපළවලට විශාල හානි සිදුවිය හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.
ඒ අනුව, මෙම නඩුව හැකි ඉක්මනින් විභාගයට ගෙන කටයුතු කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට ද ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබාදී තිබේ.



