
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති මැයි මුල ආරම්භයි
‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක්වූ කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති මැයි මස මුල් සතියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණි.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සුළි කුණාටුවෙන් අවතැන් වූ පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් කෙටි කාලයක් තුළ ආරක්ෂිත සහ ජීවත්වීමට සුදුසු තාවකාලික නිවාසවල පදිංචි කරවීමයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු තාක්ෂණය සහ ශ්‍රම දායකත්වය යොදා ගනිමින් ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර, මෙම වැඩසටහන රජයේ “Rebuilding Sri Lanka” වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වේ.
ව්‍යාපෘති කාලසටහනට අනුකූලව නිම කිරීම සඳහා සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් යුද හමුදාවට උපදෙස් ලබාදී ඇත.
ඉදිකිරීම් සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහාය ඇතිව, ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූලව මේ වනවිට සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය, වගවීම සහ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
මෙම අවස්ථාවට යුද හමුදාපති, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආපදා කළමනාකරණ අංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA), ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRI) සහ අනෙකුත් අදාළ ආයතන නියෝජිතයින් සහභාගී වූහ.



