
මත්පැන් භාවිතය ඉහළ යාමේ ප්‍රවන තාවයක්
ආර්ථික අපහසුතා මැද ජීවත් වන බොහෝ දිළිඳු පවුල්වල දරුවන් සහ බිරිඳෑවරුන් මූලික අවශ්‍යතා පවා නොලැබී දුක්විඳින පසුබිමක, ඇතැම් පියවරුන් දිනපතා උපයන වේතනයෙන් සැලකිය යුතු කොටසක් මත්පැන් සඳහා වැය කිරීම කනගාටුදායක යථාර්ථයකි. පවුලක ආදායම නිසි ලෙස කළමනාකරණය නොවීමෙන් දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය සහ අනාගතය සෘජුවම බලපෑමට ලක්වේ. මත්පැන් භාවිතය පුද්ගලයෙකුගේ පෞද්ගලික තේරීමක් වුවද, එහි බර බොහෝ විට දරන්නේ අහිංසක දරුවන් සහ පවුලේ අනෙකුත් සාමාජිකයන්ය.
එවැනි පසුබිමක මෙරට තුළ මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බව නවතම සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වී ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
2025 වසරට අදාළ දත්ත අනුව බීර නිෂ්පාදනය 5%කින් සහ අනෙකුත් මධ්‍යසාර නිෂ්පාදනය 17%කින් වර්ධනය වී තිබේ. ඒ අනුව මත්පැන් පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
2024 වසර ආරම්භයේ සිදුකළ බදු සංශෝධනයෙන් අනතුරුව මේ දක්වා මධ්‍යසාර මිලෙහි වෙනසක් සිදු නොවීම මෙම වර්ධනයට හේතුවක් වී ඇතැයි පෙන්වා දෙයි. උද්ධමනය සහ ජනතාවගේ ආදායම් වර්ධනය සමඟ සැසඳීමේදී මත්පැන් මිල ස්ථාවරව පැවතීම නිසා එය මිලදී ගැනීමේ හැකියාව වැඩි වී තිබේ.
මධ්‍යසාර අලෙවිය ඉහළ යාම හරහා සුරාබදු ආදායම වැඩි වුවද, එම තත්ත්වය සමාජ හා සෞඛ්‍ය ක්ෂේත්රයට අහිතකර බලපෑම් රැසක් එල්ල කරන බව ද අවධාරණය කෙරේ.
2023 වසරේදී මධ්‍යසාර බදු 20%කින් ඉහළ දැමීමෙන් පසු අලෙවිය ලීටර මිලියන 8.3කින් පහත වැටුණු අතර රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6කින් ඉහළ ගොස් තිබුණි. 2024 ආරම්භයේ තවත් 20%ක බදු වැඩි කිරීමෙන් පසුද අලෙවිය තවදුරටත් අඩුවී ඇති අතර බදු ආදායම රුපියල් බිලියන 42.15 දක්වා ඉහළ ගොස් ඇත.



