
රාජාංගනයේ සද්ධාරතන නොවැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
රාජාංගනයේ සද්ධාරතන නමැත්තා නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ.
රුවන්වැලිසෑ පුදබිම ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුමකට අදාළව අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
රුවන්වැලිසෑ පරිශ්‍රය ආසන්නයේ දන්සැල් භූමියේදී බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් විසින් මාරාන්තික උපවාසයක් පවත්වාගෙන ගොස් තිබූ අතර, පසුගිය 12 වැනිදා එම ස්ථානයට පිරිසක් සමඟ පැමිණි රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් සමඟ ගැටුමක් හටගෙන තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සිව්දෙනෙකු අද අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අනුරාධපුර පොලිසිය වෙත රැගෙනවිත් තිබූ අතර, සද්ධාරතන නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මේ අතර, අදාළ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳ කරුණු දැක්වීම සඳහා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කර තිබුණි.



