
මත්ජාවාරම් මුදල් සම්බන්ධයෙන් අඹුසැමි යුවළකගේ කෝටි ගණනක දේපළ තහනම්
ක්ෂණික මුදල් හුවමාරු ක්‍රම භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ බවට සැක කෙරෙන අඹුසැමි යුවළකට අයත් දේපළක් ක්‍රියා විරහිත කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.
බොරැල්ල, බේස්ලයින් මාවතේ සිරිසර උයන ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමි යුවළ 2017 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
විමර්ශනවලදී හෙළිව ඇත්තේ ජාවාරමෙන් උපයාගත් මුදල් සැකකාරියගේ මවගේ බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇති බවය.
එමෙන්ම, නීතිවිරෝධී ආදායම් යොදවා අතුරුගිරිය, ඔරුවල ශාන්ත ලෝකාගම, කොරතොට 08 වන පටුමග ප්‍රදේශයේ පිහිටි පර්චස් 06 ක ඉඩමක් සහ එහි ඉදිකළ නිවසක් 2023 දෙසැම්බර් මාසයේදී රුපියල් ලක්ෂ 300 කට ආසන්න මුදලකට මිලදී ගෙන ඇති බව ද අනාවරණය වී ඇත.
ඒ අනුව එම නිවස සහිත ඉඩමට දින 07 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ඊයේ (20) සිට නිකුත් කර තිබේ.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අඹුසැමි යුවළ ඊයේ අතුරුගිරිය ඔරුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය 32 හැවිරිදි සහ සැකකරු 37 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.
තවද, සැකකරුවන් හා සැකකාරියගේ මවගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් 06 ක් සහ සැකකරුගේ නමින් මිලදී ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේය.



