විදෙස්

රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනීමැරුම් චෝදනා

1996 වසරේ කියුබාව සහ ෆ්ලොරිඩාව අතර මුහුදු සීමාවේදී සිවිල් ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමේ සිද්ධිය සම්බන්ධයෙන් කියුබාවේ හිටපු නායක රාවුල් කැස්ත්‍රෝට එරෙහිව බරපතළ අපරාධ චෝදනා ගොනු කිරීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම ප්‍රහාරයෙන් අමෙරිකානු පුරවැසියන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කැස්ත්‍රෝ සහ තවත් පස් දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.

දැනට 94 හැවිරිදි වියේ පසුවන රාවුල් කැස්ත්‍රෝ එම කාලයේ කියුබානු සන්නද්ධ හමුදාවල ප්‍රධානියා ලෙස කටයුතු කර තිබුණි.

මෙම චෝදනා පිළිබඳව මියාමි නුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමෙරිකාවේ වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් සඳහන් කළේ, ගුවන් යානා විනාශ කිරීම සහ පුද්ගලයන් සිව්දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙන වෙනම මිනීමැරුම් චෝදනා ගොනු කර ඇති බවයි.

අමෙරිකානු නීතිය අනුව මෙම චෝදනා සඳහා මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකි බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, කියුබානු රජය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. වත්මන් කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් පවසා ඇත්තේ මෙය දේශපාලනික අරමුණු සහිත පියවරක් බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එදා කියුබාව ක්‍රියා කළේ ස්වයං ආරක්ෂාව වෙනුවෙන් බවත්, අමෙරිකාව මෙම සිද්ධිය දේශපාලනිකව භාවිත කරන බවත්ය.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කියුබාවට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින අවස්ථාවක මෙම චෝදනා ඉදිරිපත් වීම විශේෂ අවධානයට ලක්ව තිබේ.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, මීට පෙර වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මෙන්ම, කැස්ත්‍රෝ සම්බන්ධයෙන්ද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

අමෙරිකානු බලධාරීන් මේ වනවිට රාවුල් කැස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බවද තහවුරු කර ඇත.

එමෙන්ම අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත්තේ කියුබාවේ පවතින ආහාර සහ විදුලි අර්බුද සඳහා හමුදා පාලනය යටතේ ක්‍රියාත්මක වන GAESA ව්‍යාපාරික ජාලය වගකිව යුතු බවයි.

කෙසේ වෙතත්, අමෙරිකාව පනවා ඇති සම්බාධක හේතුවෙන් අර්බුද උත්සන්න වී ඇති බව කියුබානු පාර්ශවය පෙන්වා දෙයි.

මෙම නඩු තීරණය සම්බන්ධයෙන් මියාමි නුවර රැස්ව සිටි කියුබානු-අමෙරිකානු ප්‍රජාව සිය සතුට පළ කර ඇති අතර, වින්දිත පවුල් සඳහන් කර ඇත්තේ වසර 30කට පසුව හෝ යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් සතුටු වන බවයි.

ජාත්‍යන්තර විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ, මෙම සිදුවීම හේතුවෙන් අමෙරිකාව සහ කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් උණුසුම් විය හැකි බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button