ප්‍රධාන පුවත්

භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීම ගැන නව ගැසට් නිවේදනය

භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පැහැදිලි කරමින් නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග කිහිපයක් සංශෝධනය කර තිබේ.

නව විධිවිධාන අනුව, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කරන අවස්ථාවක උන්වහන්සේගේ සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ නිකාය හෝ පාර්ශ්වය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා දැනුවත් කළ යුතුය.

සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ නිකාය හෝ පාර්ශ්වය දින දහයක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දිය යුතු බව ද එහි සඳහන් වේ. එම කාලය තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත් අදාළ විධිවිධාන අනුව කටයුතු කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට හැකියාව පවතී.

එසේම, බන්ධනාගාරගත කළ භික්ෂූන් වහන්සේ නමක් නිදහස් කරන අවස්ථාවේදී, බන්ධනාගාරයට ඇතුළත් කළ අවස්ථාවේ ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර ලබාදිය යුතුය. කෙසේ වෙතත්, ඒ සඳහා අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ අනුමැතිය ලබා දී නොමැති නම්, බන්ධනාගාර කොමසාරිස්වරයා අදාළ නියෝග අනුව කටයුතු කළ යුතුය.

නිකායේ හෝ පාර්ශ්වයේ අනුමැතිය ලබාගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් බන්ධනාගාරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බව ද ගැසට් නිවේදනයේ දැක්වේ.

තවද, වෙනත් ආගමකට අයත් පූජකවරයකු සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී හෝ නිදහස් කිරීමේදී ද මෙම නියෝග අවශ්‍ය වෙනස්කම් සහිතව අදාළ කරගත යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button