උණුසුම් පුවත්

බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස ඉලක්ක කර ප්‍රහාරයක් – එහි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන බවට වාර්තා

අද (07) අලුයම ජා ඇළ ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් වාර්තා අනුව මෙම වෙඩි ප්‍රහාරය ජා ඇළ පොලිස් වසමේ අංක 05, ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉලක්ක කරමින් අද අලුයම 1.25ට පමණ සිදුකර ඇත.

මෙම නිවස මනෝජ් සුරංග ලියනගේ හෙවත් “බටුවත්තේ චාමර” යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරියට අයත් නිවසක් බව සඳහන් වේ.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි. ඔවුන් විසින් අදාළ නිවසට පමණක් නොව අසල පිහිටි තවත් නිවාස දෙකකටද වෙඩි තබා පලාගොස් ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි ප්‍රහාරය අතරතුර නිවාස තුනම ඉලක්ක කරමින් සම්පූර්ණයෙන් වෙඩි 23ක් පමණ එල්ල කර ඇති බවද අනාවරණය වී ඇත.

එම නිවසේ හිමිකාරිය වන චතුරිකා වීරසූරිය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින අතර, මෙම නිවස පසුගිය මාස දෙකක පමණ කාලයක් තුළ වැඩිහිටි නිවාසයක් ලෙස පවත්වාගෙන යාම සඳහා මාසිකව රුපියල් 125,000කට කුලියට ලබාදී තිබූ බවද සඳහන් වේ.

වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නිවස තුළ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු රැඳී සිට ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මෙම නිවසට 2025 දෙසැම්බර් 15 සහ 2025 දෙසැම්බර් 24 යන දිනයන්වලදී ද මෙවැනිම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇළ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button