
පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 514 දක්වා වර්ධනය වෙයි
2026 වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත අපනයනවලින් අමෙරිකානු ඩොලර් මිලියන 514ක ආදායමක් උපයාගෙන ඇති බව පොල් සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
එහි සභාපතිවරයා සඳහන් කළේ, පසුගිය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මෙම ආදායම සියයට 21කින් ඉහළ ගොස් ඇති බවයි.
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හේතුවෙන් නාවික ප්‍රවාහනයට බාධා, නැව් ගාස්තු සහ රක්ෂණ වියදම් ඉහළ යාම මෙන්ම ඉන්ධන මිල වැඩිවීම වැනි අභියෝග රැසක් මධ්‍යයේ මෙම වර්ධනය වාර්තා වීම කැපී පෙනෙන කරුණක් බවද ඔහු පැවසීය.
පොල් අස්වැන්න ඉහළ යාම සහ ජාත්‍යන්තර වෙළඳපොළේ ඉල්ලුම වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත්, මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තැඹිලි අපනයනය සියයට 33කින් පමණ පහත වැටී ඇති බවද පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ තැඹිලි අපනයනයෙන් සියයට 95කට ආසන්න ප්‍රමාණයක් ඩුබායි වෙළඳපොළ වෙත යොමු වන බැවින් එම වෙළඳපොළේ ඇති වූ බාධා ඊට සෘජුව බලපා ඇති බව සඳහන් වේ.
එසේ වුවද, පොල් මද, පොල් ලෙලි සහ පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු අනෙකුත් පොල් ආශ්‍රිත අපනයන අංශවල කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



