
පේරාදෙණිය, ගම්පොළ හා නාවලපිටියට ගංවතුර අවදානමක්
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අද (03) පස්වරු 3.00ට ජලාශය වාන් දැමීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේය.
ඒ අනුව මහවැලි ගඟේ ජල ප්‍රවාහය ඉහළ යා හැකි බැවින් පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය ඇතුළු ප්‍රදේශවල සුළු ගංවතුර අවදානමක් පවතින බව ඔහු පැවසීය.
එමෙන්ම උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.
අවදානම් ප්‍රදේශ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය යොමු කර ඇති අතර, අවශ්‍ය අවස්ථාවලදී ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සඳහන් වේ.
යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.



