
පාසල් සිසුන් අතර වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් – සෞඛ්‍ය බලධාරීන්ගේ පැහැදිලි කිරීම
පාසල් සිසුන් අතර මේ දිනවල වෛරස් මෙනින්ජයිටිස් (මොළේ උණ) රෝග තත්ත්වයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. එහෙත් මෙය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.
දෙනියාය ප්‍රදේශයෙන් මුලින්ම වාර්තා වූ මෙම රෝග තත්ත්වය මේ වන විට දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්තව ඇති බවද ඔහු සඳහන් කළේය. වාර්තා අනුව දියතලාවෙන් රෝගීන් 28ක්, වැලිමඩෙන් 13ක් සහ රිකිල්ලගස්කඩෙන් ආසන්න වශයෙන් රෝගීන් 25ක් පමණ හඳුනාගෙන තිබේ.
මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් බවත්, වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් එක්ව අවශ්‍ය පරීක්ෂණ හා ගවේෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් වෛද්‍යවරයා පැවසීය.
මෙම රෝගය පාසල් සිසුන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර, තද උණ, හිසරදය සහ වමනය ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස පවතින බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝග තත්ත්වය සුව කළ හැකි බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසද විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා,
”මේ දිනවල මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් වාර්තා වෙනවා.. දෙනියායෙන් තමා මුලින්ම දැක්කේ.. මේ වනවිට දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩවල යන රෝහලවලත් වාර්තා වෙනවා.. මේ ගැන වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ සහ ආවේෂණ කටයුතු සිදු කළා.. ඒ වගේම මේක වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් කියලා තහවුරු වෙලා තියෙනවා. මෙම රෝගය පාසල් ළමුන් අතර තමා ව්‍යාප්ත වෙලා තියෙන්නේ.. මේකේ රෝග ලක්ෂණ තද උණ, හිසරදය, වමනය.. මෙම රෝගයට බදුන් වූ රෝගීන් හැමදෙනාම පාහේ රෝහල්වෙත යොමුවෙලා තියෙනවා.. ඒ වගේම ප්‍රතිකාර එක්ක දවස් 5 -7ත් තුළ මෙම රෝගය සුව වෙනවා.. ඒ නිසා අනිසි බියක් ඇති කර ගන්න එපා.. මෙම රෝගය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ.. සියලු රෝගීන්ට නිසි අයුරින් ප්‍රතිකාර කරනවා.. කාටවත් බරපතළ නෑ.. පවතින වර්ෂාව හා වෙසක් සමයේ තියෙන දන්සල් එක්ක අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා පරිස්සම් වෙන්න කියලා.. ඒ වගේම මේ රෝහ තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා.. විශේෂයෙන්ම මෙම රෝගය අපවිත්‍ර වූ ජලයෙන් සහ ආහාරවලින් පැතිරෙන නිසා සැලකිලිමත් වෙන්න.. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න.. කොහොම වුණත් විශේෂයෙන්ම අපි පාසල් ආශ්‍රිතව හොඳ සම්බන්ධීකරණයකින් වැඩ කටයුතු කරනවා මෙම රෝගය පැතිරීම අවම කරන්න”



