
ශ්‍රී ලංකාව RCEP සාමාජිකත්වයට ළංවේ
ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම් සන්ධානය ලෙස සැලකෙන RCEP (Regional Comprehensive Economic Partnership) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් සාර්ථක ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත සිදුකළ නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ RCEP හි ප්‍රධාන සාමාජික රටවල් දෙකක් වන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවේ සාමාජිකත්ව අපේක්ෂාවට පූර්ණ සහාය ලබාදීමට එකඟ වී ඇති බවයි.
ආසියානු පැසිපික් කලාපයේ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් පිහිටුවා ඇති RCEP සන්ධානය, ගෝලීය ජනගහනය සහ ආර්ථික ප්‍රමාණය අනුව ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකේ.
මෙම සන්ධානයට ආසියාන් කලාපයේ රටවල් 10ක් වන බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය ඇතුළත් වන අතර, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව ද එහි සාමාජිකත්වය දරයි.
ශ්‍රී ලංකාව මෙම කලාපීය ආර්ථික බලවේග සමඟ වෙළෙඳ හා ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමේ අරමුණින් RCEP සාමාජිකත්වය සඳහා කටයුතු කරමින් සිටින අතර, අදාළ සංචාරය එම ඉලක්කයට වැදගත් පියවරක් වී ඇති බව සඳහන් වේ.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති වී තිබේ.
ඒ අනුව එළඹෙන අගෝස්තු මාසයේ සිට දෙරට අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා ඔස්ට්‍රේලියාව අපේක්ෂාවෙන් පසුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



