
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී දිවිගමනින් සමුගනී
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ ඇය නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නන්දා මාලනී මහත්මිය 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලබා ඇති අතර, කුඩා අවධියේ සිටම සිය ගායන හැකියාව ප්‍රකට කළාය.
නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වී තිබේ. එහිදී ඇයගේ ගායන හැකියාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්රයට පිවිසීමට ඇයට අවස්ථාව හිමිවිය.
කාව්‍ය තරගයකදී ඇයගේ දක්ෂතාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය, කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ “ළමා මණ්ඩපය” වෙත හඳුන්වා දී තිබේ.
එහිදී ඇය ගායනා කළ “බුදු සාදු” ගීතය ජනප්‍රිය වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මඟක් විවර විය. පසුව ලංකා ගුවන්විදුලියේ සරත් විමලවීර මහතාගේ මඟපෙන්වීම සහ අනුග්රහයද ඇයගේ ගායන දිවිය ඉදිරියට ගෙන යාමට විශාල පිටුබලයක් විය.
1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන “රන්මුතු දූව” චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරයා වූයේ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ය.
එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමි වූ අතර, “ගලන ගඟකි ජීවිතේ” ඇයගේ පළමු චිත්‍රපට ගීතය ලෙස ඉතිහාසයට එක්විය. එම ගීතයද අතිශය ජනප්‍රියත්වයට පත්විය.
ඉන් අනතුරුව පණ්ඩිත් අමරදේවයන්ගේ “මධුවන්ති” ඇතුළු ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහා එක්වූ ඇය “සන්නාලියනේ” සහ “රන් දහදිය බින්දු බින්දු” වැනි ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් තහවුරු කළාය.
ඇයගේ දීර්ඝ සංගීත දිවිය තුළ “පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍යයේ ගීතය”, “පවන ගී එකතුව”, “හේමන්තයේදී”, “තාරුකා ඇස්”, “පාවෙනා”, “සින්දු හෝඩිය”, “කිඳුරියකගේ විලාපය”, “මඳු බඳුන්”, “හඳහාමි”, “සංඛ පද්ම”, “පෙම්බර ලංකා”, “ග්රැමෆෝන් ගී”, “අරලිය ලන්දට”, “නිලම්බරේ” සහ “පිරිත් පැන්” ඇතුළු නිර්මාණ රැසක් බිහි විය.
ආදර ගීතවලට පමණක් සීමා නොවූ නන්දා මාලනී මහත්මිය, ආගමික, ළමා සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද ශ්‍රී ලාංකීය රසික ජනතාවට දායාද කළාය.
“දන්නෝ බුදුන්ගේ” වැනි ගීත හරහා ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවිය. එමෙන්ම 1990 වසරේ නිර්මාණය කළ “සින්දු හෝඩිය” ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් විය.
දශක ගණනාවක් පුරා සංගීත ක්ෂේත්රයට කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස ඇය සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් හිමිකරගෙන ඇත.
“ගලන ගඟකි ජීවිතේ”, “මේ සිංහල අපගෙ රටයි”, “රංග සැඩොල් කඳුළු”, “හඳ හාවුන්”, “දෙනෝදහක් නුවන් අතරේ”, “අම්මාවරුනේ”, “අහසින් පොළවට” සහ “ඉවුරු බිඳුණු ගංතලාවේ” ඇතුළු ගීත වෙනුවෙන්ද ඇය සම්මානයට පාත්‍ර වූවාය.
සිය ගායන හැකියාව ජාත්‍යන්තරයටද රැගෙන ගිය ඇය සිංගප්පූරුව, මැලේසියාව, පාකිස්තානය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, මැදපෙරදිග සහ මාලදිවයින ඇතුළු රටවල ප්‍රසංග සඳහා සහභාගී වී තිබේ.
1988 දෙසැම්බර් 16 වැනිදා සිය 250 වැනි ප්‍රසංගය පැවැත්වූ නන්දා මාලනී මහත්මිය, 2010 වසරේදී සිරස නාලිකාව සමඟ එක්ව දිවයින පුරා සජීවී ඒක පුද්ගල ගී ප්‍රසංග 25ක්ද පවත්වා ඇත.
ශ්‍රී ලාංකීය සංගීතයට අනන්‍ය වූ ගායන ශෛලියක් එක් කරමින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.



