ප්‍රධාන පුවත්

පරිපාලන සේවා සංගමය හෙට වැඩවර්ජනයට සහාය නොදෙයි

පරිපාලන සේවා සංගමය හෙට වැඩවර්ජනයට සහාය නොදෙයි

හෙට (30) දිනයේ වැටුප් විෂමතා මුල් කරගනිමින් විවිධ වෘත්තීය කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය ලබා නොදීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබේ.

එමෙන්ම, රජයේ විධායක නිලධාරීන් විසින් මෙම මස 20 වැනිදා ක්‍රියාත්මක කළ එක්දින සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයට ද සිය සංගමයේ සහාය හිමි නොවූ බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත.

වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික හා සංවර්ධන අභියෝග සැලකිල්ලට ගනිමින් වැටුප් සහ දීමනා සංශෝධනය කිරීම සඳහා විද්‍යාත්මක අධ්‍යයනයකින් සකස් කළ සාධනීය යෝජනාවලියක් මේ වන විටත් වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවද එහි දැක්වේ.

සමස්ත රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකි ආකාරයෙන් වැටුප් සංශෝධන සිදු කිරීමට අදාළ කොමිෂන් සභාව කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සංගමය පෙන්වා දෙයි.

එවැනි ක්‍රියාවලියක් මේ වන විටත් ආරම්භ කර ඇති පසුබිමක, මහජන සේවාවන් අඩාල වන ආකාරයේ හෝ රටේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති කරන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සූදානම් නොමැති බවද අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, වැටුප් කොමිෂන් සභාවක් පත්කර තිබියදීත් එහි නිර්දේශ ලැබීමට පෙර විවිධ පාර්ශ්ව වෙත අවිධිමත් ආකාරයෙන් සහන ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය දැඩි නොසතුට පළ කරන බවද එම සංගමය වැඩිදුරටත් සිය නිවේදනයෙන් සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button