
තැපැල් වෘත්තීය සමිති හෙට වැඩවර්ජනයට සහාය පළ කරයි
හෙට (30) දිනයේ රාජ්‍ය ආයතන රැසක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුව නියෝජනය කරන වෘත්තීය සමිතිවල සහාය හිමිවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
කෙසේ වෙතත්, එම වැඩවර්ජනයට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් සෘජුවම එක්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.
පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය හේතුවෙන් මෙම වෘත්තීය විරෝධතා තත්ත්වය ඇතිවී තිබෙන බවද ඔහු පෙන්වා දී ඇත.
අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා පැවැති අවස්ථාවේදී, රටේ ඉහළ යන ජීවන වියදම සහ සේවා ගාස්තු සැලකිල්ලට ගනිමින් සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස වෘත්තීය සමිති රජයෙන් ඉල්ලීමක් කළ බව චින්තක බණ්ඩාර මහතා පැවසීය.
එහෙත් එම ඉල්ලීම සමස්ත රාජ්‍ය සේවයටම ලබාදීම වෙනුවට රජය විසින් තෝරාගත් කණ්ඩායම් සඳහා පමණක් විවිධ දීමනා ලබාදීමට කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කළේය.
මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය සේවය තුළ බෙදීමක් ඇතිවී තිබෙන අතර, ඇතැම් රාජ්‍ය සේවාවන් නොසලකා හැරීමකට ලක්ව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලුම රාජ්‍ය සේවකයන් දායක වන බැවින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් අවශ්‍ය සහන සහ දීමනා ලබාදීම රජයේ වගකීමක් බවද ඒ මහතා අවධාරණය කළේය.
මේ අතර, වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතාවල නිරත වන පිරිස් වෙත කිසිදු වරප්‍රසාදයක් ලබා නොදෙන බවට රජයේ පාර්ශ්වයෙන් සිදුකරන ප්‍රකාශ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයකට නොගැළපෙන බවද චින්තක බණ්ඩාර මහතා පෙන්වා දී තිබේ.
ඉදිරියේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වීමට සමස්ත තැපැල් සේවකයන්ගේ එකඟතාව හිමිව ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, රාජ්‍ය සේවකයන්ගේ පොදු ඉල්ලීම්වලට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු විසඳා ගැනීම සඳහාද ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවිය හැකි බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



