ප්‍රධාන පුවත්

නුවරඑළිය මහ නගර සභාවේ රු. මිලියන 9.2ක ඉන්ධන වංචා චෝදනාවක්

නුවරඑළිය මහ නගර සභාව මගින් ආපදා කළමනාකරණ කටයුතු සඳහා කුලී පදනම මත ලබාගත් වාහනවලට ඉන්ධන සැපයීමේදී රුපියල් මිලියන 9.2ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම චෝදනාව ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානය නියෝජනය කරන දිනේෂ් ලංකා ගීගනගේ මහතා විසිනි.

ඔවුන් පවසන්නේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විගණකාධිපතිවරයාට සහ නුවරඑළිය දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවය.

සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා සඳහන් කළේ, පසුගිය වසරේ අවසානයේ ඇති වූ දිට්වා ව්‍යසනයෙන් පසු තලගලඔය සංවර්ධන හා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා බැකෝ ඇතුළු යන්ත්‍රෝපකරණ කුලී පදනම මත ලබාගෙන ඒවාට ඉන්ධන සැපයීමේ වැඩසටහනක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බවයි.

ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් රුපියල් ලක්ෂ 20ක මුදලක් මහ නගර සභාවේ බැංකු ගිණුමට බැර කර තිබූ අතර, ඉතිරි වියදම් මහ නගර සභාවේ අරමුදල්වලින් දරා ඇති බව ඔහු කියා සිටියේය. එම මුදල් වියදම් කිරීම සඳහා ආවරණ අනුමැතිය ලබාදී ඇත්තේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ මැදිහත්වීමෙන් බවද ඔහු චෝදනා කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉන්ධන සඳහා රුපියල් ලක්ෂ 92කට අධික මුදලක් වෙන් කර තිබුණද, එම වියදමට සරිලන සේවාවක් හෝ වැඩ ප්‍රමාණයක් ක්ෂේත්‍රයේ දක්නට නොලැබෙන බවයි. ඒ හේතුවෙන් මහ පරිමාණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට සැක මතුවන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව වාහන ලබාගැනීම සහ ඒවාට ඉන්ධන නිකුත් කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම ආරම්භ කරන ලෙසද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button