ප්‍රධාන පුවත්

නුවරඑළියේ ජල පෝෂක කලාප හෙක්ටයාර 1,500ක් රැකගැනීමට පියවර

නුවරඑළියේ ජල පෝෂක කලාප ආශ්‍රිත හෙක්ටයාර 1,500ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණය කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජල මූලාශ්‍ර සහ ජල පෝෂක කඳුකර ප්‍රදේශ මෙලෙස ආරක්ෂිත කලාප බවට පත් කිරීමට නියමිතය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය ශක්තිමත් කිරීම, ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ඊයේ (28) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

නුවරඑළියේ ජල පෝෂක කලාප ගැසට් කිරීමේ කටයුතු ඉදිරියේදී

දිස්ත්‍රික්කයේ පරිසරය සහ ජල පෝෂක කලාප ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමටද එහිදී තීරණය වී තිබේ.

ඒ අනුව හෙක්ටයාර 1,500ක භූමි ප්‍රමාණය ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීම ඉදිරියේදී සිදුකරන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

හෝටල් සහ ව්‍යාපාර පරීක්ෂාවට

මේ අතර, නුවරඑළිය සංචාරක කලාපයේ පිහිටි හෝටල් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදීම නිසි ක්‍රමවේදයකට අනුව කඩිනම් කිරීමට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම අපජලය විධිමත් ලෙස බැහැර කිරීම සහතික කරමින් ජල මූලාශ්‍ර දූෂණය වීම වැළැක්වීම සඳහා අඛණ්ඩ පරීක්ෂණ සිදුකිරීමටද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

නායයෑම් සහ වන විනාශය වැළැක්වීමටත් අවධානය

ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම තුළින් නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදා අවම කර ගැනීම මෙන්ම නීතිවිරෝධී වන විනාශයන් පාලනය කිරීමද මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණක් වී තිබේ.

ඒ සඳහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර පරිසර හා සංවර්ධන ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී අවධානය යොමු විය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරිසරික අනන්‍යතාව ආරක්ෂා කරමින් සංචාරකයන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද හිතකර, සුරක්ෂිත සහ පරිසර හිතකාමී නුවරඑළියක් බිහිකිරීම සඳහා සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අවධාරණය කළේය.

මෙම රැස්වීමට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය නගරාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීරආච්චි ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, දිස්ත්‍රික් ලේකම්වරිය, අතිරේක ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button