
බස් ගාස්තු අඩු නොකර මාස 6ක් පවත්වාගෙන යන බව ගැමුණු කියයි
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මෙවර ජූලි 03 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ සාමාන්‍යයෙන් ජූලි 01 වැනිදා ක්‍රියාත්මක වන වාර්ෂික ගාස්තු සංශෝධනය, මාසික ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් දින දෙකකින් ප්‍රමාද කර ජූලි 03 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සලකා බලමින් සිටින බවය.
මේ සම්බන්ධයෙන් අනෙකුත් බස් සංගම් සමඟද සාකච්ඡා පැවැත්වෙන බව පැවසූ ඒ මහතා, ඩීසල් මිල පහළ දැමුවද මාස හයක කාලයක් බස් ගාස්තු අඩු නොකර පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
බස් කර්මාන්තය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, ජූනි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා රුපියල් කෝටි 60ක පමණ පාඩුවක් සිදුව ඇති බවද ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,
“ඩීසල් අඩුවුණත් අපි මාස 6ක් පුරා අපි බස් ගාස්තු අඩු කරන්න කටයුතු කරන්නේ නෑ. මොකද කර්මාන්තයට බරපතළ අර්බුදයක් තිබෙනවා. මේ මාසයේ ජූනි 1 වැනිදා සිට ජුනි අග වෙනකන් මේ මාසේ ඇතුළත රුපියල් 25ක පාඩුවෙන් රුපියල් කෝටි 60ක පාඩුවක් වෙලා තිබෙනවා. අපි කියන්නේ මේ සංශෝධනය හදාගන්න වෙනවා ඩීසල් මිල අඩු කළාට මාස 6ක් වෙනකන් අපි අඩු කරන්නේ නෑ. පුළුවන් නම් අපිට නඩු දාන්න අපි කියනවා ප්‍රතිපත්තියක් විදිහට කිසි තැනක සඳහන් කරලා නෑ ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න ඕනේ කියලා.”



