ප්‍රධාන පුවත්

ළමා ආරක්ෂක ආයතනවල පුරප්පාඩු නිසා නඩු ප්‍රමාද වෙයි

දරුවන් සම්බන්ධ පැමිණිලි සහ නඩු කටයුතු සඳහා යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීමට ළමා ආරක්ෂාව සම්බන්ධ ආයතනවල පවතින නිලධාරී පුරප්පාඩු බලපා ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ සැලකිය යුතු නිලධාරී හිඟයක් පවතින බවයි.

එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන වෙත ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා පිහිටුවා ඇති බහු ආංශික යාන්ත්‍රණය මඟින් අවශ්‍ය පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අදාළ කමිටුවේදී මෙම කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.

එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ ක්‍රියාත්මක පොලිස් ඒකකය ස්වාධීන කිරීමේ හැකියාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය ලේඛන ලබාදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.

තවද ළමා මහාධිකරණ ස්ථාපිත කිරීම හරහා ළමුන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කර යුක්තිය ඉක්මනින් ඉටුකිරීමේ අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button