
මුම්බායි පවුලේ සිව්දෙනාගේ මරණය ගැන අලුත් හෙළිදරව්වක්
ඉන්දියාවේ මුම්බායි නුවර එකම පවුලක සාමාජිකයන් සිව්දෙනෙකු හදිසියේ මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැතිර ගිය “පැණි කොමඩු විෂවීම” කතාව අසත්‍ය බවට නව තොරතුරු හෙළිවී තිබේ.
මුල් අවධියේ මෙම මරණවලට හේතුව පැණි කොමඩු ආහාරයට ගැනීම බවට සමාජ මාධ්‍ය හා ඇතැම් වාර්තා සඳහන් කළ අතර, ඒ හේතුවෙන් මුම්බායි සහ අවට ප්‍රදේශවල පැණි කොමඩු මිලද කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබුණි.
කෙසේවෙතත්, නවතම අධිකරණ වෛද්‍ය වාර්තා අනුව මරණ සිදුව ඇත්තේ කිසියම් විෂ ද්‍රව්‍යයක් ශරීරගත වීමෙන් බවට සැක පළවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි ජංගම දුරකථන උපකරණ අලෙවිකරුවෙකු වූ අබ්දුල්ලා ඩොකාඩියා, ඔහුගේ බිරිඳ නස්රීන් සහ දියණියන් දෙදෙනා වන සයිනබ් හා අයේෂා ය.
වාර්තා අනුව, පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඥාතීන් සමඟ රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව අලුයම 1.00ට පමණ පවුලේ සාමාජිකයන් පැණි කොමඩු ආහාරයට ගෙන ඇත.
ඉන් පැය කිහිපයකට පසු ඔවුන්ට වමනය සහ පාචනය ඇතුළු රෝග ලක්ෂණ මතුව ඇති අතර, අලුයම 5.00 වන විට ඔවුන්ගේ තත්ත්වය බරපතළ වී මරණයට පත්ව තිබේ.
මූලික පරීක්ෂණවලදී මියගිය අයගේ මොළය, හෘදය සහ අන්ත්‍ර ඇතුළු අභ්‍යන්තර ඉන්ද්රියයන් කොළ පැහැයට හැරී තිබූ බවද අනාවරණය වී ඇත.
වෛද්‍යවරුන් සඳහන් කරන්නේ සාමාන්‍ය ආහාර විෂවීමකදී මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් නොපෙනෙන බවයි.
තවද පවුලේ ප්‍රධානියා වූ අබ්දුල්ලාගේ සිරුරේ ප්‍රබල වේදනා නාශකයක් වන මෝෆීන් අඩංගු වූ බවටද සාධක හමු වී ඇති අතර, එය වෛද්‍ය ප්‍රතිකාරයක් හේතුවෙන්ද නැතහොත් වෙනත් මැදිහත්වීමක්ද යන්න සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
ඉන්දීය ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පවසන්නේ මේ දක්වා මරණය සහ පැණි කොමඩු අතර සෘජු සම්බන්ධයක් තහවුරු වී නොමැති බවයි.
එදිනම ඔවුන් සමඟ ආහාර ගත් අනෙකුත් ඥාතීන් පස්දෙනාට කිසිදු අසනීප තත්ත්වයක් වාර්තා නොවූ අතර, ඔවුන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.
සිද්ධිය හදිසි මරණයක් ලෙස සලකා පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, අවසන් රසායනාගාර වාර්තා ලැබෙන තෙක් නිශ්චිත මරණ හේතුව ප්‍රකාශ කළ නොහැකි බව බලධාරීන් සඳහන් කරයි.



