
භික්ෂූන්ගේ සිවුර ගැලවීමට ගිහියන්ට අයිතියක් නැහැ – සජිත්
භික්ෂූන්ගේ සිවුර ගැලවීමට ගිහියන්ට කිසිදු අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. භික්ෂූන් වහන්සේලාගේ චීවරයේ ගරුත්වය ආරක්ෂා වන පරිදි අදාළ නීතිරීති සහ රෙගුලාසි වහාම යාවත්කාලීන කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.
සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දී ඇති ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිදුවන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු විහාර ගණයෙහි අධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමේ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ බුද්ධාගමට මෙන්ම සෙසු ආගම් සහ ජාතීන්ටද නිසි ගෞරවය හා ස්ථානය ලබා දිය යුතු බවයි. එසේම මහා සංඝරත්නයේ චීවරයට සෑම අවස්ථාවකදීම ගෞරව කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් සති දෙකෙන් දෙකට කමිටු පත් කරමින් කල් මැරීම වෙනුවට පැය 24ක් ඇතුළත කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය. ආගමික නායකයන්ගේ ඇඳුම් පැළඳුම් හා පැවැත්මට අනවශ්‍ය බලපෑම් ඇති නොවන අයුරින් චීවරයේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා රෙගුලාසි සංශෝධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
භික්ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවීමේ ක්‍රියාවලිය අතිශය දුෂ්ට ක්‍රියාවක් බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, ඒ සඳහා ගිහියන්ට කිසිදු අයිතියක් නොමැති බව යළිත් අවධාරණය කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, අදාළ නීතිරීති වෙනස් කිරීම සඳහා විපක්ෂයක් ලෙස කළ හැකි උපරිම බලපෑම සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



