ප්‍රධාන පුවත්

ශිරන්ති රාජපක්ෂගේ සැත්කම ගැන අධිකරණයෙන් වාර්තාවක් කැඳවයි

ශිරන්ති රාජපක්ෂ මහත්මිය විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් සිටින බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අද (13) අධිකරණයට දැනුම් දී තිබේ. කෙසේ වෙතත්, ඇය සැත්කමකට භාජනය කරන්නේද යන්න පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවීමට අධිකරණය පියවර ගෙන ඇත.

‘සිරිලිය සවිය’ ගිණුමේ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය. එහෙත් එම අවස්ථාවේදී ඇය අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට පැවසුවේ, ඊයේ (12) බන්ධනාගාරයේ සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් අංශයට ඇතුළත් කළ බවයි. එසේම, ඇය මේ වන විට විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව තහවුරු වුවද, ඇය සැත්කමකට භාජනය කරන බවට කිසිදු තොරතුරක් බන්ධනාගාර නිලධාරීන්ට වාර්තා වී නොමැති බවයි.

ඒ අනුව, ශිරන්ති රාජපක්ෂ මහත්මිය විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් සිටින්නේද යන්න වහාම සොයා බලා දැනුම් දෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපත් කළ වාර්තාවේ ඇය කොළඹ ජාතික රෝහලේ 61 වන වාට්ටුවට ඇතුළත් කර ඇති බව සඳහන් වුවද, ඇයගේ රෝගී තත්ත්වය හෝ සැත්කමක් සිදුකරන බවක් එහි දක්වා නොතිබූ බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව, අදාළ වාර්තාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුව අද පස්වරු 2 දක්වා කල් තැබීමට නියම කෙරිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button