
තායිලන්තයේ ශ්‍රී ලංකා සේවකයින්ට නව අවස්ථා
ශ්‍රී ලංකා සේවකයින් තායිලන්තයේ රැකියා සඳහා යොමු කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් හා සුභසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර කම්කරු ක්ෂේත්රයට අදාළ ගිවිසුම් දෙකක් අද (14) බැංකොක් නුවරදී අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම් අතර කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ තායිලන්තයේ ශ්‍රී ලාංකික සේවකයින් සේවයේ යෙදවීම සම්බන්ධ එකඟතා ගිවිසුමක් ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙම ගිවිසුම් සඳහා අත්සන් තැබූ අතර, තායිලන්තය වෙනුවෙන් එරට කම්කරු අමාත්‍ය ජුලාපුන් අමෝර්න්විවාත් (Julapun Amornvivat) මහතා අත්සන් කර ඇත.
දෙරටේ අදාළ බලධාරීන් අතර පැවැති අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ගිවිසුම් ඇති කර තිබේ. ඒ අනුව තායිලන්තයේ ශ්‍රී ලාංකික සේවකයින් රඳවා ගැනීම සහ සේවයේ යෙදවීම වඩාත් විධිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීමට අවශ්‍ය පසුබිම සකස් වේ.
තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස ස්ථාපිත නීතිමය රාමුවක් යටතේ ශ්‍රී ලාංකික සේවකයින් 10,000 දෙනෙකු බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය දැනටමත් අනුමැතිය ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
කම්කරු ප්‍රතිපත්ති හා භාවිතයන්, ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු, කුසලතා සංවර්ධනය, ශ්‍රම නිෂ්පාදිතය සහ කම්කරු ආරක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වර්ධනය කිරීමට ද මෙම අවබෝධතා ගිවිසුම මගින් අවස්ථාව සැලසේ.
එමෙන්ම නීතිවිරෝධී බඳවා ගැනීම් සහ මිනිස් ජාවාරම් වැළැක්වීම සම්බන්ධයෙන් ද දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම ගිවිසුමේ අරමුණක් වේ.
තායිලන්තයේ ශ්‍රී ලාංකික සේවකයින් සඳහා රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් එරට රජයට කෘතඥතාව පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා, සේවකයින්ගේ අයිතිවාසිකම්, සුභසාධනය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.
මෙම ගිවිසුම් දෙරට අතර ආරක්ෂිත, විධිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක කම්කරු සංක්‍රමණ ක්‍රියාවලිය පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.



