
නව බදු ප්‍රතිපත්තියට සජිත්ගෙන් දැඩි විරෝධය
රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව බදු පරිපාලන ප්‍රතිපත්තිය ප්රජාතන්ත්රවාදයට සහ මූලික අයිතිවාසිකම්වලට බලපෑම් ඇති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී බදු පරිපාලනය සම්බන්ධ විශේෂඥයන්, ව්‍යාපාරිකයන් සහ අදාළ ක්ෂේත්‍ර නියෝජිතයන් සමඟ සාකච්ඡාවක නිරත වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ, වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක ඉක්මවා යාමේ උත්සාහයක නිරතව සිටින අතර, ඒ හේතුවෙන් බදු පරිපාලනය සහ සාපරාධී ක්‍රියා අතර සම්බන්ධතාවයක් ගොඩනැඟෙමින් පවතින බවයි.
ඔහු පෙන්වා දුන්නේ, කිසියම් පුද්ගලයෙකු අමතක වීම, රෝගී තත්ත්වයක් හෝ විදේශගත වීම වැනි හිතාමතා නොවන හේතූන් මත බදු පරිපාලන කොන්දේසි සම්පූර්ණ නොකිරීම පවා සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකෙන තත්ත්වයක් රජය ඇති කිරීමට උත්සාහ කරන බවය.
මෙවැනි ක්‍රියාමාර්ග මූලික සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද, සිරගත කිරීමේ තර්ජනය මඟින් බදු අයකිරීම ප්රජාතන්ත්ර විරෝධී ප්‍රවණතාවක් බවද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
එමෙන්ම, මෙම ක්‍රමවේදය ව්‍යාපාරික ප්‍රජාව තුළ භීතියක් ඇති කරමින් නව ව්‍යාපාර ආරම්භ කිරීම, ව්‍යාප්ත කිරීම සහ රැකියා උත්පාදනයටද අහිතකර බලපෑම් ඇති කරන බව ඔහු සඳහන් කළේය.
තවද, මෙම නව ප්‍රතිපත්තිය මඟින් අධිකරණ බලය අභියෝගයට ලක් කිරීමක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාමාර්ගයකට රජය යොමුවන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බල බෙදීම සහ සංවරණ-තුලන සංකල්පයද මෙම ක්‍රියාවලිය හරහා දුර්වල විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත්, බදු ගෙවිය යුතු සියලු දෙනා නීත්‍යානුකූලව බදු ගෙවිය යුතු බව තමා පිළිගන්නා බව සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා, බදු ගෙවීමේ අඩුපාඩු සාපරාධී ක්‍රියාවක් ලෙස හඳුන්වාදීම ප්රජාතන්ත්රවාදයට එල්ල කරන බරපතළ පහරක් බවද අවධාරණය කළේය.



