ප්‍රධාන පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීම ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සම්බන්ධයෙන් අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිනත් ප්‍රකාශයට පත් කෙරේ

දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 100ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ඊයේ (12) සහ අද (13) යන දෙදින තුළ ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහනේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණු සහ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව මෙන්ම සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සම්බන්ධයෙන්ද සහභාගිවන්නන් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.

ඊට අමතරව අධ්‍යාපන පරිපාලනය, පාසල් සඳහා අවශ්‍ය භෞතික සම්පත් සංවර්ධනය, පාසල් පාදක ඇගයීම් ක්‍රමවේද සහ සහතිකකරණය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරේ.

අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නව ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ. එමෙන්ම අදාළ ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතා අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් වෙත ලබාදීමද මෙහි අරමුණකි.

මේ අතර, නොවැම්බර් 19 වැනිදා දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාසල් මට්ටමින් පැවැත්වීමට නියමිතය.

එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමද දැනට පැවැත්වෙන ජාතික වැඩසටහනේ තවත් අරමුණක් ලෙස සඳහන් වේ.

වැඩසටහන් මාලාවේ අවසන් අදියර යටතේ නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව එක් එක් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සුදුසු දින ගණනක් වෙන් කිරීමට නියමිත අතර, එම පාසල්වල සියලුම සිසුන්ගේ දෙමාපියන් වෙත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button