සෞඛ්‍යය

දුම්කොළයෙන් වසරකට ශ්‍රී ලංකාවේ මරණ 22,000ක්

දුම්කොළ භාවිතය තවදුරටත් පුද්ගලික පුරුද්දක් පමණක් නොව, ජාතික සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයක් බව මෙම දත්ත පැහැදිලි කරයි. වසරකට ජීවිත දහස් ගණනක් අහිමි වීමත්, රුපියල් බිලියන ගණනක ආර්ථික හානියක් සිදුවීමත් රටක් ලෙස නොසලකා හැරිය නොහැකි කරුණකි. 

මෙවන් පසුබිමක දුම්කොළ භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පුද්ගලයින් 22,000කට අධික පිරිසක් අකාලයේ මියයන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අනාවරණය කරයි.

එහි සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සඳහන් කළේ, දුම්කොළ භාවිතය නිසා රෝග 200කට වැඩි සංඛ්‍යාවක් ඇතිවන බව මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

2026 ලෝක දුම්කොළ නිවාරණ දිනයට සමගාමීව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වෛද්‍යවරයා, දුම්කොළ භාවිතයෙන් රටට සිදුවන ආර්ථික හානිය ද ඉතා බරපතළ මට්ටමක පවතින බව පෙන්වා දුන්නේය.

“අවුරුද්දකට ආසන්න වශයෙන් 22,000කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මියයනවා මේ පුංචි රට ඇතුළේ දුම්කොළ භාවිතය නිසා. ආර්ථික හානි ගැන කතා කළොත් වාර්ෂිකව රුපියල් බිලියන 214කට ආසන්න ප්‍රමාණයක් 2016 ඇස්තමේන්තුවට අනුව වියදම් කරනවා. නෙළුම් කුලුනක් හදනවා වගේ. දුම්කොළ නිසා සිදුවන හානිය නඩත්තු කරන්න අපි වියදම් කරන ප්‍රමාණය නෙළුම් කුලුනු 16ක් හදන්න යන මුදල් ප්‍රමාණයට. හයිවේ දෙකක් හදන්න යන මුදල්.”

දුම්වැටි භාවිතයෙන් පරිසරයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද එහිදී වැඩිදුරටත් පැහැදිලි කළ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා, දිනපතා පරිසරයට මුදාහරින සිගරට් ෆිල්ටර් විශාල ප්‍රමාණයක් හේතුවෙන් සෞඛ්‍ය හා පාරිසරික ගැටලු උග්‍රවී ඇති බව සඳහන් කළේය.

“ලංකාවේ විතරක් මිලියන 9 – 11ත් අතර ප්‍රමාණයක් සිගරට් ෆිල්ටර්ස් පරිසරයට මුදාහරිනවා. මේ පාවිච්චි කරන ලද ෆිල්ටර්ස්වල උග්‍ර රසානික සහ පිළිකා ද්‍රව්‍ය අඩංගුයි. මේවායෙන් සිදුවන පරිසර, සෞඛ්‍ය හානිය අනන්තයි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button