
දිස්ත්‍රික්ක 12ක වැසි පීඩාවෙන් 10,545කට බලපෑම් – ගංවතුර හා නායයෑම් අවදානමත් ඉහළට
දිස්ත්‍රික්ක 12ක වැසි පීඩාවෙන් පුද්ගලයින් 10,545කට බලපෑම් එල්ල වී ඇති අතර, ගංවතුර සහ නායයෑම් අවදානම ද ඉහළ ගොස් තිබේ.
දිස්ත්‍රික්ක 12ක වැසි පීඩාව හමුවේ ජලාශ 30ක් වාන් දමයි – නායයෑම් රතු නිවේදනත් නිකුත් කෙරේ
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව, පසුගිය 23 වැනිදා සිට පැවති වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 57ක පවුල් 2,736කට අයත් පුද්ගලයින් 10,545 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
අම්පාර, කොළඹ, ගම්පහ, යාපනය, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතර, පුත්තලම, රත්නපුර, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මෙම බලපෑම් වාර්තා වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, බලපෑමට ලක්වූ පුද්ගලයින් 182 දෙනෙකු ආරක්ෂිත ස්ථාන හතරක තාවකාලිකව රඳවා සිටින බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථානයක පුද්ගලයින් 27 දෙනෙකු ද, රත්නපුර දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන දෙකක පුද්ගලයින් 33 දෙනෙකු ද රඳවා සිටිති. මන්නාරම දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථානයක තවත් පුද්ගලයින් 122 දෙනෙකු රඳවා ඇති බව ද ඔහු පැවසීය.
වැසි තත්ත්වය හේතුවෙන් නිවාසවලට අර්ධ හානි සිදුවීම් 215ක් වාර්තා වී තිබේ. එමෙන්ම පුත්තලම ප්‍රදේශයේදී 56 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව සඳහන් වේ.
පසුගිය පැය 24 තුළ කිලිනොච්චිය, මන්නාරම, යාපනය, මුලතිව් සහ කළුතර දිස්ත්‍රික්කවලින් මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 17ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 13ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිං, නිල්වලා, කළු සහ කැලණි ගංගා ආශ්‍රිතව මෙන්ම අත්තනගලු ඔය සහ මහ ඔය අවට පහත්බිම් ප්‍රදේශවල ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පෙන්වා දී තිබේ.
එමෙන්ම, දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් සඳහා නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ දොඩංගොඩ යන කොට්ඨාසවලටත් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරලේ සහ නෝවුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑම් රතු නිවේදන බලපැවැත්වේ.
මීට අමතරව, දිස්ත්‍රික්ක කිහිපයකට පළමු සහ දෙවන අදියර යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර, ඔර්නබ් සුළි කුණාටුව ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළේ, අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.
පවතින කාලගුණික තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම් අවදානම් පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ.



