කාලගුණය

ඔර්නබ් සුළි කුණාටුව ඉතා ප්‍රබල වෙයි – දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

ඔර්නබ් සුළි කුණාටුව තවදුරටත් තීව්‍ර වීමත් සමඟ එය ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. අද (27) අලුයම 2.30 වන විට මෙම පද්ධතිය කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිතව කේන්ද්‍රගතව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති මෙම සුළි කුණාටුවේ කේන්ද්‍රය උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ පිහිටා තිබූ බව සඳහන් වේ. අද පස්වරු 5.30 දක්වා එය බටහිර දෙසට බරව වයඹ දිශාවට ගමන් කිරීමට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම ගමන් මාර්ගය අනුව හෙට (28) පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද, එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය අද දිනයේදීත් පැවතිය හැකිය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවන තරමක තද වැසි ඇතිවීමේ හැකියාවද පවතී.

නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් විටින් විට තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button