
ප්‍රධාන පුවත්
දියණිය අපයෝජන සිද්ධිය වසන් කළ මව රිමාන්ඩ්
සිය අනියම් සැමියා විසින් දියණිය අපයෝජනයට ලක් කළ බව වසන් කරමින් ඊට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා ලැබූ මවක් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පදවිය ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන්, වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව අපයෝජනය තහවුරු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු තිදරු පියෙකු වන අතර ඔහු වින්දිත දැරියගේ මවගේ අනියම් සැමියා බවයි. සිද්ධිය හෙළිවීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් මව කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කර ඇති අතර, වින්දිත දැරියගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.



