
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා කමේනිගෙ පුත් මොජ්තබා කමේනි පත් වෙයි
අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගෙන් පසු, එරට නව උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරී පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
1969 සැප්තැම්බර් 8 වැනිදා ඉරානයේ ඊසානදිග පිහිටි මෂාඩ් නගරයේ උපත ලැබූ මොජ්තබා කමේනි, අයතුල්ලා අලි කමේනිගේ දරුවන් හය දෙනා අතර දෙවැන්නා ලෙස සැලකේ.
ඔහු ටෙහෙරානයේ ආගමික අධ්‍යාපන ආයතනයකින් ද්විතීය අධ්‍යාපනය ලබා ඇති අතර, අවුරුදු 17ක් වයසේදී ඉරාන–ඉරාක යුද්ධය පැවති සමයේ කෙටි කාලයක් සඳහා ඉරාන හමුදාවේ සේවය කර තිබූ බවද වාර්තා වේ.
ඊට අමතරව 1999 වසරේදී ඔහු ෂියා දේවධර්ම අධ්‍යයනය සඳහා ප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන කොම් නගරයට ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මොජ්තබා කමේනි සරල හා නිහතමානී චරිතයක් බවත්, ඔහු කිසි දිනක නිල රජයේ තනතුරක් දරා නොමැති බවත්ය. එමෙන්ම ඔහු පොදු සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රසිද්ධ කථාද ඉතා සීමිතව සිදුකර ඇති අතර, ඔහුගේ ඡායාරූප සහ වීඩියෝද ඉතා අඩුවෙන් පමණක් ප්‍රසිද්ධියට පත්ව ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා ඉරානයේ දේශපාලන ක්ෂේත්රයේ තිරය පිටුපස බලපෑම් ඇති කළ පුද්ගලයෙකු ලෙසද ඔහු ගැන කටකතා පැතිර තිබුණි.
පසුගිය 28 වැනිදා එල්ල වූ ඊශ්‍රායල–අමෙරිකානු ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක්වූ අතර, එම ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳ, දියණිය, බෑණා සහ මුනුපුරාද මියගොස් ඇති බව ඉරාන මාධ්‍ය පසුව තහවුරු කළේය.
දශක තුනකට වැඩි කාලයක් ඉරානයේ නායකත්වය දැරූ අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු, ඔහුගේ පුත්‍රයා වන මොජ්තබා කමේනි ඉදිරියට එරට නව උත්තරීතර නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.



