ප්‍රධාන පුවත්

තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට තායිලන්ත වීසා අනිවාර්යයි

 

 

සැප්තැම්බර් 15 වනදා සිට තායිලන්තයට ඇතුළුවන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබේ.

ඒ අනුව එදින සිට තායිලන්තය බලා ගමන් කිරීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන් තායිලන්ත වීසා බලපත්‍රයක් ගමනට පෙර ලබාගැනීම අනිවාර්ය වේ.

e-Visa හරහා පමණක් අයදුම් කළ යුතුයි

තායිලන්ත වීසා සඳහා ඉදිරිපත් කරන සියලුම අයදුම්පත් තායිලන්තයේ නිල e-Visa පද්ධතිය ඔස්සේ අන්තර්ජාලය හරහා පමණක් ඉදිරිපත් කළ යුතු බව තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

ඒ අනුව වීසා අයදුම්පත් තානාපති කාර්යාලයට පැමිණ භාරදීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.

සංචාරක වීසා සඳහා දින 3-7ක්

අවශ්‍ය සියලු ලේඛන නිවැරදිව ඉදිරිපත් කර ඇති සංචාරක වීසා අයදුම්පතක් ක්‍රියාවලියට ලක් කිරීම සඳහා සාමාන්‍යයෙන් දින 3ත් 7ත් අතර කාලයක් ගතවන බව සඳහන් වේ.

කෙසේවෙතත්, සංක්‍රමණික නොවන වීසා, DTV ඇතුළු අනෙකුත් වීසා කාණ්ඩ සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ පදිංචි විදේශිකයන්ගේ අයදුම්පත් සඳහා වැඩි කාලයක් ගතවිය හැකිය.

අමතර ලේඛන ඉල්ලා සිටිය හැකියි

අවශ්‍යතාව මත අමතර ලේඛන ඉදිරිපත් කරන ලෙස අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටීමට තානාපති කාර්යාලයට හැකියාව පවතී.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවලදී අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමටද තානාපති කාර්යාලයට බලය හිමිවන බව දැනුම් දී තිබේ.

නිල තොරතුරු පමණක් භාවිත කරන්න

තායිලන්තයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන සියලු දෙනා හැකි ඉක්මනින් e-Visa සඳහා අයදුම් කිරීමට පියවර ගන්නා ලෙස තායිලන්ත තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

එමෙන්ම තායිලන්ත වීසා සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීමේදී තානාපති කාර්යාලය විසින් නිල වශයෙන් පවත්වාගෙන යන පණිවුඩ හුවමාරු මාධ්‍ය පමණක් භාවිත කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button