සෞඛ්‍යය

ඩෙංගු මරණ 77ක් දක්වා ඉහළට

ඩෙංගු මරණ 77ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව අනාවරණය වී තිබේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 77ක් වන අතර, වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 99,634කි. ඒ අනුව මරණ අනුපාතය 0.077%ක් ලෙස දැක්වේ.

වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.53%ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 52,340කි.

දිස්ත්‍රික්ක අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 21,136ක් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,569ක් වාර්තා වී තිබේ.

මහනුවරින් රෝගීන් 7,547ක්, කළුතරින් 6,339ක් සහ මාතරින් 6,273ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.

මාසික දත්ත සැලකීමේදී මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදීය. එම සංඛ්‍යාව 29,964කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී රෝගීන් 10,155ක් හඳුනාගෙන තිබේ.

සැප්තැම්බර් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 4,144ක් වාර්තා වී ඇති බවද එම දත්තවල දැක්වේ.

මේ අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

එබැවින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button