උණුසුම් පුවත්

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක්

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු කඩිනමින් දැනුම් දීම සඳහා ජනතාවට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සඳහා නිවැරදි සහ විශ්වසනීය තොරතුරු මහජනතාවට, මාධ්‍යවේදීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට ලබාදීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇත.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හෝ අවදානම් තත්ත්වයන් පිළිබඳ තොරතුරු 011-7966366 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.

මෙම ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වාත්, සෙනසුරාදා පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් ක්‍රියාත්මක වේ.

එම දුරකථන අංකය හරහා ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, මදුරුවන් බෝවන ස්ථාන හා ඒ සම්බන්ධ පැමිණිලි වාර්තා කිරීම, මාධ්‍ය සඳහා නිල තොරතුරු ලබා ගැනීම මෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා ගැනීමද සිදු කළ හැකිය.

ඩෙංගු වසංගතය පාලනය කිරීමේ ඒකාබද්ධ වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවති සාකච්ඡාවේදී මේ දක්වා සිදු කළ ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

මේ අතර බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද (05) සිට ක්‍රියාත්මක කර ඇති අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ රැසක් ඊට ඇතුළත් වේ.

මෙම මෙහෙයුම ජනාධිපති කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා,

”විශේෂයෙන්ම ඩෙංගු සම්බන්ධයෙන් තමන්ට තියෙන තොරතුරක් හෝ රජයට දැන්විය යුතු තොරතුරක් පවතිනවා නම් තමන්ගේ ගෙදර හෝ තමන් දන්න ස්ථානයක ඩෙංගු වසංගතය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියන එක දන්නවා නම්, ඒ සඳහා තොරතුරු තියෙනවා නම්, මහජනතාවට මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්.. නිලධාරීන් සූදානම් වෙලා ඉන්නවා ඔබේ තොරතුරු ලබාගන්න. මේ ඔබ ලබාදෙන තොරතුරු සඳහා ක්‍රියාමාර්ග ගන්න මෙහෙයුම් මැදිරිය සූදානමින් ඉන්නවා. ඊට අමතරව මහජනතාවට විශේෂයෙන් දැන්විය යුතු කාරණයක් තියෙනවා.. ඔබේ නිවස, ඔබට ඔබට අයිතිය තියෙන පරිශ්‍රයන් ඒවා ඉතාම පරිස්සමෙන් ඉතාම වුවමනාවෙන් නඩත්තු කරගන්න ඩෙංගු බෝවන ආකාරයේ ක්‍රියාකාරකම්වල, ඩෙංගු කීටයන් බෝවන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදෙන්න එපා.. එවැනි ස්ථාන ගොඩනැගිලා තියෙනවා නම් ඒවා පිරිසිදු කරන්න. තවත් කාරණයක් කිව යුතුයි. එසේ නොකරනවා නම් ඒ සඳහා පවතින නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ සියලු අංශ සූදානමින් ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිඳු කෙනෙකුගේ තත්වය, තරාතිරම බලන්නේ නැහැ. අනතුරු ඇඟවීමක් හැටියට නෙවෙයි සඳහන් කරන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න රජය ඉතා තදින් තීරණය කරලා තියෙනවා.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button