ප්‍රධාන පුවත්

විද්‍යුත් වීසා ගිවිසුම් ගැන යළි නීතිමය සමාලෝචනයක්

විද්‍යුත් වීසා ගිවිසුම් ගැන යළි සලකා බැලීමට රජය තීරණය කරයි

විද්‍යුත් වීසා ගිවිසුම් පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව නැවත සමාලෝචනය කිරීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුකමිටුවක් පත් කර ඇති බවයි.

එම කමිටුව මේ වන විට අදාළ කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත්, එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

අදාළ පෙත්සම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ වත්මන් මන්ත්‍රී රවුෆ් හකීම් විසින් ගොනු කර තිබුණි.

මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර, පෙත්සම යළි සැප්තැම්බර් 29 වනදා කැඳවීමට නියම කෙරිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button