
COPE හමුවේ හෙළි වූ නිවාස අධිකාරියේ පාතාල තර්ජන සහ පාඩු
COPE හමුවේ හෙළි වූ නිවාස අධිකාරියේ පාතාල තර්ජන සහ ආදායම් අහිමිවීම
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පාතාල තර්ජන මෙන්ම දේශපාලන බලපෑම් සහ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් එම ආයතනයට විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හමුවේ අනාවරණය වී තිබේ.
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ කඩකාමර බදු ගිවිසුම් යාවත්කාලීන නොකිරීම සහ වාහන නැවැත්වීමේ අංගනවලින් ආදායම් ලබාගැනීම සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් COPE කමිටුව කරුණු විමසා ඇත.
එහිදී COPE කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, මාලිගාවත්ත ප්‍රදේශයේ කඩසාප්පු 113කින් පසුගිය දෙසැම්බර් 31 වන විට රුපියල් මිලියන 12කට අධික හිඟ කුලී මුදලක් අයවීමට තිබූ බවයි.
එම කඩකාමර අතරින් කිහිපයක් රුපියල් 100කටත් අඩු මුදලකට ලබාදී ඇති අතර, තවත් කඩකාමර රුපියල් 100 සිට 1,000 දක්වා සහ 1,000 සිට 5,000 දක්වා වූ අඩු කුලී පදනමකින් පවත්වාගෙන ගොස් ඇති බවද හෙළි විය.
තවද කඩකාමර 52ක බදු ගිවිසුම් අවසන් වී වසර 1ත් 35ත් අතර කාලයක් ගත වී තිබුණද ඒවා යාවත්කාලීන කර නොමැති බවද අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් නන්දන කුමාර මහතා පැවසුවේ, අදාළ කඩ හිමියන් බොහෝ දෙනෙකු 1980 දශකයේදී ගිවිසුම්ගත වූවන් බවත්, එම ගිවිසුම් සංශෝධනය කිරීමට උපදෙස් ලබාදී ඇති බවත්ය.
මේ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා චෝදනා කළේ, නිවාස අධිකාරිය වසර ගණනාවක් තිස්සේ ඉඩම් සහ දේපළ නිසි පරිදි කළමනාකරණය නොකර ඇති බවයි.
බදු ගිවිසුම් යාවත්කාලීන නොවීමට හේතු පැහැදිලි කරමින් අධ්යක්ෂ මණ්ඩල සාමාජික අනුරාධ කිරලවැල්ල මහතා සඳහන් කළේ, ඒ සඳහා නිලධාරීන් පමණක් වගකිව යුතු නොවන බවයි.
දේශපාලන බලපෑම්, පාතාල කණ්ඩායම්වලින් එල්ල වූ තර්ජන සහ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් මෙම තත්ත්වයට බලපා ඇති ප්‍රධාන කරුණු ලෙස ඔහු පෙන්වා දුන්නේය.
වංචනික ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇතැම් නිලධාරීන්ගේ සේවය මේ වන විටත් අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද අනුරාධ කිරලවැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



