
නැගෙනහිර ධීවර ජනතාවගේ ජීවනෝපාය නංවන්න ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක්
දිට්වා සුළිකුණාටුවෙන් බලපෑමට ලක්ව ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ජනතාවගේ ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.
ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව පසුගිය 29 වැනිදා කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ද එක්ව සිටියේය.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීමේ වගකීම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙත පැවරී ඇති අතර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ එම සංවිධානයේ නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් ගිවිසුමට අත්සන් තබා තිබේ.
ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය Barrage Nets පද්ධති ද සැපයීමට නියමිතය.
එමෙන්ම ඉඟිණියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය හෝමෝන සහ රසායනික ද්‍රව්‍ය ලබාදීමත්, ධීවර සමිති සහ ප්‍රතිලාභීන් සඳහා තාක්ෂණික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් මෙම වැඩසටහනට ඇතුළත් වේ.
තවද, පළමු වගා චක්‍රය සඳහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් සහ මත්ස්‍ය ආහාර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.








