
ජාතික සුපිලිපන් සතිය අද සිට රටපුරා ක්‍රියාත්මකයි
ජාතික සුපිලිපන් සතිය අද (27) සිට ජූලි 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.
“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජනාධිපති ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එක්ව සංවිධානය කරයි.
අද පෙරවරු 9.00ට සියලු රාජ්‍ය ආයතනවල ජාතික සුපිලිපන් දිවුරුම ලබාදීම සහ ආචාර ධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමෙන් සතියේ නිල ආරම්භය සිදු කෙරේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීමත්, දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන පද්ධතියක් ගොඩනැගීමත්ය.
සතිය පුරා සෑම දිනයක්ම ආයතනික, මූල්‍ය, ඩිජිටල්, ආචාරධර්මීය, යටිතල පහසුකම්, පාරිසරික හා ප්‍රජා සවිබලගැන්වීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සුපිලිපන්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙන් කර තිබේ.
එමෙන්ම, සියලු රාජ්‍ය ආයතනවල ස්ථාපිත අභ්‍යන්තර කටයුතු ඒකක හරහා මහජනතාවට දූෂණ හා සේවා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි QR කේත, ඊමේල්, ලිපි, දුරකථන හෝ වෙබ් පණිවිඩ මාර්ගයෙන් ඉදිරිපත් කළ හැකි බව ද නිවේදනය කර ඇත.
ජූලි 31 වැනිදායින් පසුද මෙම වැඩසටහන දෙසැම්බර් 31 දක්වා සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.



