ප්‍රධාන පුවත්

IMF සමාලෝචන දෙකට අනුමැතිය

ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (27) පැවති IMF විධායක මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදී ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සඳහා 2023 මාර්තු මාසයේදී අනුමත කළ අමෙරිකානු ඩොලර් බිලියන 3ක විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මෙම සමාලෝචන ක්‍රියාත්මක කෙරුණි.

රැස්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අදාළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බවය.

එමෙන්ම “දිට්වා” සුළි කුණාටුව සහ මැදපෙරදිග ගැටුම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අවදානම් පවතින බවද ඔහු පෙන්වා දී තිබේ.

2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 3ක මට්ටම දක්වා මන්දගාමී විය හැකි බව IMF පුරෝකථනය කර ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාම සහ සංචාරක ආදායම් අඩුවීම ඊට බලපා ඇති බව සඳහන්ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරට පැමිණ තිබුණද ණය තිරසාරභාවය සම්බන්ධ අවදානම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව IMF අවධාරණය කරයි. ඒ හේතුවෙන් මිල ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙමින් මූල්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවද කෙන්ජි ඔකමුරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර, වත්මන් ආණ්ඩුව නැවතත් IMF සහාය ලබාගැනීමක් අපේක්ෂා නොකරන බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ රාත්‍රී විකාශය වූ “අලුත් පාර්ලිමේන්තුව” වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, එම වැඩසටහනට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දුන්නේ IMF සමඟ අඛණ්ඩ සහයෝගීතාවය මෙරට ආර්ථික ස්ථාවරත්වයට වැදගත් වන බවය।

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button