
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් හදිසි අනතුරු ඇඟවීමක් – ජනතාවට උපදෙස්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවතින අධික වර්ෂාපතන තත්ත්වය හමුවේ දැඩි අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට ආරක්ෂක පියවර පහක් දැනුම් දෙයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම්, ගංවතුර සහ වෙනත් ස්වාභාවික ආපදා ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙස එම ආයතනය ඉල්ලා සිටී.
ආපදා හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හානි සහ දේපළ හානි අවම කර ගැනීම සඳහා බලධාරීන් නිකුත් කරන නිල අනතුරු ඇඟවීම් පිළිබඳව නිරන්තර අවධානය යොමු කිරීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.
එමෙන්ම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා ජනතාව විසින් පහත ආරක්ෂක පියවර අනුගමනය කළ යුතු බව දැනුම් දී තිබේ.
හදිසි අවස්ථා බෑගයක් සූදානම් කර ගැනීම
අත්‍යවශ්‍ය ඖෂධ, වැදගත් ලියකියවිලි, වියළි ආහාර සහ ප්‍රථමාධාර උපකරණ ඇතුළත් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි බෑගයක් සූදානම් කර ළඟ තබා ගත යුතුය.
පවුලේ සාමාජිකයන් සහ අසල්වැසියන් දැනුවත් කිරීම
ආපදා අවස්ථාවකදී අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව පවුලේ සියලුම සාමාජිකයන් මෙන්ම අසල්වැසියන්ද දැනුවත් කර තැබීම වැදගත් වේ.
නිල කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානයෙන් සිටීම
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලබන නිවේදන නිරන්තරයෙන් පරීක්ෂා කර ඒ අනුව කටයුතු කළ යුතුය.
නායයෑම් පූර්ව ලක්ෂණ හඳුනා ගැනීම
පොළොවේ පැලීම් ඇතිවීම, ජල මට්ටම්වල හදිසි වෙනස්වීම්, ගස් කඩා වැටීම සහ මඩ සහිත ජලය කාන්දු වීම වැනි නායයෑමක පූර්ව ලක්ෂණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
අවදානමක් පවතින විට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීම
යම් ආපදා අවදානමක් හඳුනාගතහොත් ප්‍රමාදයකින් තොරව ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් වන ලෙසද ජනතාවට උපදෙස් දී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තමන්ගේත් පවුලේ සාමාජිකයන්ගේත් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.



