
ජනපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අද රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
රට තුළ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට සෘජුව පැහැදිලි කිරීමක් ලබාදීමට ජනාධිපතිවරයා මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන බවයි.
තවද එළැඹෙන සිකුරාදා දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට ද බලාපොරොත්තු වන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“සිකුරාදා දිනයේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතනවා කියලා දැනුම්දීලා තියෙනවා. අද රාත්‍රි 7.30ට මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ පක්ෂ නායකයින් ඒ වෙලාව වෙනකොට පාර්ලිමේන්තුවේ රැඳී සිටියොත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකුත් ඇතිකරගන්න. ජනාධිපතිතුමාගේ මට්ටමින් අදහස් දක්වන්න බලාපොරොත්තු නම් ඒ සඳහාත් අපි බලාපොරොත්තු වෙනවා සිකුරාදා විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඒ අවස්ථාව ලබා දෙන්න.”



