ප්‍රධාන පුවත්

ජනපතිගෙන් අධිකරණ තීන්දු ගැන විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් රජය සම්පූර්ණයෙන්ම යටත් වන බවත්, නීතිය පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය අධිකරණය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අධිකරණය ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් වෙනත් තීරණ තමන්ගෙන් අපේක්ෂා කිරීමෙන් පලක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. අද (18) බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය යම් තීන්දුවක් ලබාදුන් පසු එය ඉවත් කරන ලෙස ඉල්ලා හඬ නැගීමෙන් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල අදාළ ආයතන වෙත ලබාදී ඇති බව ද ඔහු පැවසීය.

නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බවත්, නීතියේ සමානාත්මතාව නොමැති රටක අනාගත පරපුරට ආරක්ෂාවක් නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙතෙක් තමන්ට නීතිය ක්‍රියාත්මක නොවනු ඇතැයි සිතා සිටි පුද්ගලයන්ට පවා මේ වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර, රට තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීමට නීතියේ බිඳවැටීම සහ දේශපාලන රැකවරණය බලපා ඇති බව ජනාධිපතිවරයා පැවසීය. එවැනි ක්‍රියාකාරකම්වලට තම රජය යටතේ ඉඩක් නොමැති බවත්, මත්ද්‍රව්‍ය සහ පාතාලය මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බවත් ඔහු අවධාරණය කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 2,484ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,301ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 297ක් පොලිස් භාරයට ගෙන ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

එම මෙහෙයුම්වලදී T-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර් 105ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අනාගත පරපුරට ආරක්ෂිත රටක් ගොඩනැගීමට නම් මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම තුරන් කළ යුතු බව ද ඔහු පැවසීය.

එමෙන්ම, ලෝකයේ ප්‍රබල ශ්‍රම වෙළෙඳපොළට ගැළපෙන නිර්මාණශීලී දරුවන් බිහිකිරීම සඳහා පවතින ඒකාකාරී අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. පාසල් සඳහා තාක්ෂණික සහාය ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කරන බවත්, පාසල් 6,000කට අධික සංඛ්‍යාවකට අධිවේගී ෆයිබර් තාක්ෂණික සබඳතා ලබාදීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිදු කුමන්ත්‍රණයකට ගොදුරු නොවන බව පැවසූ ජනාධිපතිවරයා, ජාතිවාදයට සහ ආගම්වාදයට ඉඩ නොතබා ජාතික සමගිය හා ආගමික සංහිඳියාව සහිත රටක් ගොඩනගන බව ද ප්‍රකාශ කළේය.

මහජන දේපළ සොරකම් කිරීම, වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර නීත්‍යනුකූලව දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button